දියවැඩියාව පාලනය කිරීමට ඉඟි 10 ක්

දියවැඩියාව පාලනය කිරීමට ඉඟි 10 ක්

දියවැඩියාව යමෙකුට වැළඳුන පසු එය සුව කිරීමට හැකියාවක් තවම නැහැ. දියවැඩියා රෝගියෙකුට තම සෞඛ්‍යය හැකි පමණින් හොඳින් තබාගැනීමට කලහැකි එකම දෙය නම් රෝගය පාලනය කිරීම පමණයි. එමනිසා, දියවැඩියාව පාලනය කිරීමට පහත සඳහන් ඉඟි 10 ඔබට ප්‍රයෝජනවත් වේවි.

  • ඔබේ බර පාලනය කරගන්න

ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index/BMI) 18.5 සහ 24.9 අතර තබාගන්න. වඩාත්ම සුදුසු වන්නේ, එය 22 සහ 23 අතර තබාගැනීමයි. ඔබේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට බෙහෙවින් ඉවහල් වේ.

  • ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.

අවම වශයෙන් සතියකට දවස් 5 ක් බැගින්, දවසකට විනාඩි 30-45 ක් සෙමින් දිවීම, වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම, හෝ නර්ථනයක නියැලීම වැනි මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් (Moderate-intensity physical activities) වල නියැලෙන්න. එමගින්, ඔබගේ සාමාන්‍ය සෞඛ්‍යය වැඩිදියුණු වෙනවා මෙන්ම දියවැඩියාව ද පාලනය වේ.

  • සෞඛ්‍ය සම්පන්න ආහාර

වැඩිපුර තන්තු (කෙඳි) සහ ප්‍රෝටීන් අඩංගු සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ගැනීමට හුරුවන්න. අතුරුපස, සීනි සහිත ආහාර, කෘතිම ලෙස සකස් කරන ලද ආහාර, සහ පාන වර්ග ආහාරයට ගැනීමෙන් වලකින්න. තෙල් අධික ආහාර ගැනීම හැකිතරම් අවම කරන්න. වැඩිපුර කෑම මෙන්ම ආහාර වේල් මගහැරීම ද එකසේ හානිකර වේ. ආහාර ගැනීම සඳහා හොඳ ආහාර කාලසටහනක් පවත්වාගැනීම වැදගත්. ආහාර වල අඩංගු තන්තු, ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් සීනි උරාගැනීම අඩු කරයි. තෙල් අඩු ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔබ කලින්ම ආහාර වලින් තෘප්තිමත් බව හැඟෙන බැවින්, ඔබ ආහාර ගන්නා ප්‍රමාණය සහ කැලරි ප්‍රමාණය අඩුවීම සිදුවේ.

  • සෞඛ්‍ය අවවාද

ඔබගේ වෛද්‍යවරයාගේ සහ පෝෂණවේදියාගේ නිර්දේශ හොඳින් අනුගමනය කරන්න. ඔබට දියවැඩියාව පාලනය පිළිබඳ ගැටළු ඇත්නම්, සැමවිටම ඔවුන්ගෙන් විමසන්න. ඔවුන් සමග සාකච්ඡා කරන්න.

  • ස්වයං අධ්‍යයනය කරන්න.

දියවැඩියාව පාලනය සහ රුධිරයේ සීනි මට්ටම අධික ලෙස පහත වැටීම (Hypoglycaemia) පිළිබඳ ස්වයං අධ්‍යයනයක යෙදීමෙන්, දියවැඩියාව පාලනය කිරීම ඔබට පහසු වනු ඇත.

  • මත්පැන් පානය කිරීමෙන් සහ දුම්පානය කිරීමෙන් වලකින්න.

මත්පැන් පානය සහ දුම්පානය මගින් දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා වන හෘදයාබාධ, අංශභාගය, සහ පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease) ඇතිවීමට ඇති අවදානම වැඩිකරයි.

  • ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට වැදගත් වේ.

ප්‍රමාණවත් ලෙස හොඳින් නිදාගැනීම සහ මානසික ආතතිය පාලනය කිරීම ශරීරය තුළ ආතති හොමෝන (Stress hormones) ශ්‍රාවය වීම අඩුකරයි. ආතති හෝමෝන මගින් රුධිරයේ සීනි මට්ටම වැඩිවේ.

ඔබට අධික රුධිර පීඩනය සහ අධික ලෙස කොලෙස්ටරෝල් ඇත්නම්, ඒවා තදින් පාලනය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. අධික රුධිර පීඩනය සහ අධික ලෙස කොලෙස්ටරෝල් පැවතීම, දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ඇතිවීමට ඇති අවදානම වැඩිකරයි.

  • ඔබේ දෙපා සහ සම හොඳින් ආරක්ෂා කරගන්න.

පාලනය නොකරන දියවැඩියාව නිසා ඔබේ අත් පා වල ස්නායු ක්‍රමයෙන් දුර්වල වේ. එමනිසා, අත් පා වල හිරිවැටීම සහ නොදැනීම ඇතිවීමෙන් ඒවායේ ඇතිවන තුවාළ ඔබට මගහැරී යාම සිදුවිය හැක. දියවැඩියාව තුවාළ සුවවීම ප්‍රමාද වීමටත් බලපාන බැවින්, ඔබගේ හෝ වෙනත් අයෙකුගේ අවධානයට ඔබේ තුවාළය ලක්වන විට එය දරුණු තත්ත්වයක පැවතීමට වැඩි ඉඩක් පවතී. ඔබේ ඇඟිලි සහ දෙපා බේරාගැනීමට, ඒ වනවිට ඔබ ප්‍රමාද වී සිටීමට ඉඩ ඇත. ඔබගේ සීනි මට්ටම පාලනය කරනවා මෙන්ම, ඔබේ දෙපා සහ සම ආරක්ෂා කරගැනීමට ද අවධානය යොමුකල යුතුවේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Victor)

 

සබැඳි ලිපි:

දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?
දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?
දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?
දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "දියවැඩියාව පාලනය කිරීමට ඉඟි 10 ක්"

  1. Shanaka Wijesooriya | January 20, 2017 at 12:14 pm | Reply

    බොහෝමත්ම වැදගත් ලිපිපෙලක් පල කිරීම සම්බන්දව ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි. ඔබතුමාට දීර්ඝායුෂ පතනවා.

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | January 20, 2017 at 12:17 pm | Reply

      ඔබගේ ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතියි.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*