ගැස්ට්‍රයිටිස් (Gastritis) අමාරුව ඔබටත් ගැටළුවක්ද?

ගැස්ට්‍රයිටිස් (Gastritis) අමාරුව ඔබටත් ගැටළුවක්ද?

ගැස්ට්‍රයිටිස් (Gastritis) අමාරුව වත්මන් සමාජයේ බහුලව පවත්නා ගැටළුවක් වන අතර, ‘ගෑස්ටික්’, ‘ගෑස්’, සහ ‘බඩේ ගෑස්’ වැනි නම් වලින් ද ඇතැම් අය අතර ප්‍රචලිතව තිබෙනවා. ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් (Inflammation) වේ. ගැස්ට්‍රයිටිස් තත්ත්වය කෙටි කාලයක් තුළදී මතුවිය හැකි අතර (කෙටිකාලීන ගැස්ට්‍රයිටිස්/Acute gastritis), දිගුකාලයක් තිස්සේ සෙමින්ද මතුවේ (දිගුකාලීන ගැස්ට්‍රයිටිස්/Chronic gastritis). ඔබට පාලනයකින් තොරව ගැස්ට්‍රයිටිස් අමාරුව ඇත්නම්, ආමාශයේ තුවාල සහ ආමාශයේ පිළිකා ඇතිවීමට ඇති අවදානම වැඩිවේ. නමුත්, ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඖෂධ සහ ජීවන රටාවේ ඇතිකරගන්නා වෙනස්කම් මගින් සුවකරගත හැක.

 

ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ

  • බඩේ ඉහළ ප්‍රදේශයේ ඇතිවන දැවිල්ලක් හෝ කැක්කුමක්.
  • වමනය යෑමට ආසන්න සේ හැඟීම හෝ වමනය යෑම.
  • බඩ පුරවා දැමීම සහ බඩේ අපහසුතාවයක් දැනීම.
  • දැවිල්ලක් සහිතව උගුරට ඒම.
  • කෑම අරුචිය

 

ගැස්ට්‍රයිටිස් ඇතිවීමට හේතු සහ අවදානම් සාධක

  • ආහාර ජීර්ණ පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන Helicobacter pylori නැමැති බැක්ටීරියා ආසාදනය.
  • මත්පැන් භාවිතය.
  • දුම්පානය කිරීම.
  • ඇස්පිරින් සහ ඇතැම් ස්ටෙරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (Non-steroidal Anti-inflammatory Drugs/NSAIDs) වැනි වේදනා නාශක.
  • ජීවන රටාව, ලොකු ශල්‍යකර්මයක්, ලොකු අනතුරක්, පිළිස්සීමක්, හෝ දැඩි ආසාදනයක් නිසා ඇතිවන මානසික ආතතිය (Stress).
  • ඇතැම් ස්ව-ප්‍රතිශක්ති රෝග (Auto-immune diseases)
  • පිළිකා රෝග ප්‍රතිකාර සඳහා යොදාගන්නා රසායනික චිකිත්සාව (Chemotherapy) සහ විකිරණ චිකිත්සාව (Radiotherapy).
  • ඇතැම් අසාත්මිකාරක (Allergen).
  • දිගුකාලීන පිත ඉහළට ගැලීම (Chronic bile reflux) නැමැති තත්ත්වය.
  • අම්ල වැනි විඛාදක ද්‍රව්‍ය (Corrosive) පානය කිරීම.
  • අධිකව තේ හෝ කෝපි පානය කිරීම.
  • ඇතැම් දිළීර සහ වෛරස් ආසාදන.
  • රක්තහීනතාවය (Anaemia) සඳහා ලබාදෙන යකඩ පෙති.
  • වැඩිපුර අනුභව කිරීම (Overeating).
  • ආහාර වේල් මගහැරීම.
  • ස්ටෙරොයිඩ් ඖෂධ ප්‍රතිකාර (Steroid treatments).
  • ආමාශයට සිදුවන අනතුරු හෝ ආමාශයේ ශල්‍යකර්ම.

ඔබට ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න. මක්නිසාද, ඇතැම් ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ, ඇතැම් දරුණු රෝග තත්ත්ව වලදී ද මතුවේ. ඒවා නම්,

  • හදවත් රෝග.
  • ආමාශයේ පිළිකා.
  • අග්න්‍යාශදාහය (Pancreatitis).
  • පිත්තාශයේ (Gallbladder) සහ පිත්තකාර්ෂයේ (Biliary tract) ප්‍රදාහයක් හෝ ආසාදනයක් නිසා ඇතිවන පිත්ත වේදනාව (Biliary pain).
  • ආමාශයේ තුවාළ හෝ වණ.

 

ගැස්ට්‍රයිටිස් රෝගය සුවකර ගන්නේ කොහොමද?

ගැස්ට්‍රයිටිස් රෝගය සුවකිරීම සඳහා ලබාදෙන ඖෂධ නිසි අයුරින් භාවිතා කිරීම මෙන්ම, ජීවන රටාවේ වෙනස්කම් ඇතිකරගැනීම ද එකසේ වැදගත් වේ. මෙම රෝග තත්ත්වය සුවකරගැනීමට පහත සඳහන් උපදෙස් අනුගමනය කිරීම කල යුතුවේ.

  • මත්පැන් පානය කිරීමෙන් වලකින්න.
  • දුම්පානය කිරීමෙන් වලකින්න.
  • ඔබේ වෛද්‍යවරයා ලබාදෙන ප්‍රතිජීවක (Antibiotics), ආමාශයේ අම්ල නිෂ්පාදනය අඩුකරන හෝ වලක්වන ඖෂධ, වමනය වලක්වන ඖෂධ, සහ ප්‍රතිඅම්ල (Antacid) ඖෂධ නිසි අයුරින් භාවිතා කරන්න.
  • අසාත්මිකාරක වලින් ඈත් වන්න.
  • තේ සහ කෝපි පානය අඩුකරන්න.
  • චොකලට් අනුභව කිරීම අඩුකරන්න.
  • අධිකව තෙල් සහිත ආහාර (බැදුම් වර්ග, තෙල් සහිත ආහාර සහ තෙම්පරාදු කරන ලද ආහාර) භාවිතය අඩුකරන්න.
  • බිස්කට් වර්ග සහ පිටි වලින් සාදන ලද ආහාර වර්ග අනුභව කිරීම අඩුකරන්න.
  • මිරිස් සහ තුනපහ වැඩිපුර යෙදූ ආහාර භාවිතය අඩුකරන්න.
  • ඇඹුල් ගතිය වැඩි පානයන් සහ ආහාර භාවිතය සීමා කරන්න.
  • කිරි, යෝගට්, සහ මුදවපු කිරි ඇතුළු කිරි ආහාර භාවිතය සීමා කරන්න.
  • වැඩිපුර ආහාර ගැනීමෙන් හෝ නිරාහාරව සිටීමෙන් වලකින්න.
  • මානසික ආතතිය පාලනය කරගන්න. මේ සඳහා හොඳින් නිදාගැනීම, විවේකය, සහ සතුටින් සිටීම වැදගත් වේ.
  • ඇඟට හිර ඇඳුම් ඇඳීමෙන් වලකින්න.
  • ආහාර වේලක් කොටස් දෙකකට වෙන්කර, ආහාර වේල් 5-6 ක් වනසේ අනුභව කරන්න. එවිට ආහාර වේල් අතර පරතරය අඩුවන බැවින් අම්ල වලින් ආමාශයට හානි සිදුවීම අවම වේ. උදාහරණයක් වශයෙන්, උදෑසන ආහාරය දෙකකට වෙන්කර එක් කොටසක් සාමාන්‍ය පරිදි ආහාරයට ගන්න. ඉතිරි කොටස දහවල් තේ බොන වේලාවට (තේ වෙනුවට) අනුභව කරන්න. දහවල් ආහාරයද මෙලෙසම කොටස් දෙකකට වෙන්කර එක් කොටසක් සාමාන්‍ය පරිදි ආහාරයට ගෙන, ඉතිරි කොටස සවස තේ බොන වේලාවට (තේ වෙනුවට) අනුභව කරන්න.
  • වැඩිපුර තන්තු ආහාරයට ගැනීම සඳහා දවසකට එළවලු සහ පළතුරු කෝප්ප 6 ක් ආහාරයට ගන්න.
  • ආහාර හොඳින් සපා අනුභව කරන්න. ආහාර ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි 15 ක් වත් ගතකරන්න.
  • ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න.
  • රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු පැය 3 ක් වත් ගතවන තුරු නින්දට යන්න එපා.
  • ඔබේ ශරීරයේ අධික බර හෝ තරබාරුබව ඇත්නම්, බර අඩු කරගන්න.
  • දිනපතා ව්‍යායාම කරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Marcus Quigmire)

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ගැස්ට්‍රයිටිස් (Gastritis) අමාරුව ඔබටත් ගැටළුවක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*