හදිසි ආපදා තත්ත්වයකදී සුවෙන් සිටින්නේ කොහොමද?

හදිසි ආපදා තත්ත්වයකදී සුවෙන් සිටින්නේ කොහොමද?

මෙවර වෙසක් මාසය ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් කතාබහට ලක්වුණේ මහ වැසි නිසා රට පුරා ඇතිවූ ගංවතුර සහ ප්‍රදේශ කීපයක ඇතිවූ නායයෑම් නිසා. මෙම ස්වාභාවික ආපදාව නිසා ජීවිත රැසක් අහිමි වූ අතර, බොහෝ පිරිසක් අවතැන් කිරීමට එය සමත් විය. සාමාන්‍යයෙන්, මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයක් උද්ගත වූ පසු, ඇතැම් බෝවෙන රෝග ජනතාව අතර පැතිර යාම සිදුවන බව පෙනේ. එමෙන්ම, ඇතැම් බෝ නොවන රෝග උත්සන්න වීම ද දක්නට ලැබේ. එසේ වුවත්, ජීවන රටාව මදක් වෙනස් කරගැනීමෙන්, ස්වාභාවික ආපදාවකට ලක්වීමෙන් අනතුරුවත් සුවෙන් සිටීමට ඔබට හැකියාව ලැබෙනවා. ආපදා තත්ත්වයකදී සුවෙන් සිටින්නේ කොහොමද යන්න පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

ගංවතුර වැනි ආපදා තත්ත්වයකදී ළිං ජලය අපිරිසිදු වීම බහුලව සිදුවේ. හදිසි ආපදා තත්ත්වයකදී ජලයට මළපහ, කැළිකසල, රෝගකාරක, සහ වෙනත් අපද්‍රව්‍ය එකතුවීම නිසා අපිරිසිදු වියහැක. ජලය යනු රෝග පැතිර යාමට හොඳ මාධ්‍යයක් බැවින්, නිසි අයුරින් පිරිසිදු කරගැනීමෙන් තොරව ජලය භාවිතා කලහොත්, පාචනය, අතීසාරය, උණසන්නිපාතය (Typhoid), සෙංගමාලය (Hepatitis), පණුරෝග, සහ ඇමීබික අතීසාරය (Amoebic dysentery) වැනි රෝග වැළඳීමට වැඩි අවදානමක් ඇතිවේ. එමනිසා, නටන තුරු රත්කරගත් ජලය නිවාගැනීමෙන් අනතුරුව පානය කරන්න. අපිරිසිදු ජලය පානය කරනවාට වඩා, ඔබට ආධාර ලෙස ලැබෙන බෝතල් කරන ලද ජලය පානය කිරීම ආරක්ෂිත විය හැක. නැතහොත්, ඔබගේ නගර සභාව, ප්‍රාදේශීය සභාව, හෝ වෙනත් රාජ්‍ය ආයතනයකින් තාවකාලිකව සපයා ඇති ජල ටැංකි වල ජලය භාවිතා කරන්න. සැමවිටම, ජලය නටන තුරු උණුකර, නිවාගැනීමෙන් පසුව පානය කිරීමට මතක තබාගන්න. ජලය ගබඩා කිරීමට පිරිසිදු බඳුන් භාවිතා කරන්න. ජලය බැසයාමෙන් අනතුරුව, ඔබේ ළිඳ පිරිසිදු කිරීමෙන් අනතුරුව පමණක් ජලය භාවිතා කලයුතු වේ. ඒ සඳහා ඇතැම් විට, කිහිප වරක් ළිඳ ඉසීමට සිදුවිය හැක. ළිඳ ඉසීමෙන් අනතුරුව ළිං ජලය ක්ලෝරින් යොදා පිරිසිදු කරගන්න. ඔබේ ළිං ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීමට සහ ජලය ක්ලෝරිනීකරණය කරගැනීමට ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහය වනු ඇත.

ඔබ ජල ටැංකියක් භාවිතා කරන්නේ නම්, ජලය ලීටර් 4-5 කට ක්ලෝරීන් පෙති 1 ක් බැගින් වනසේ එක් කලයුතු වේ. ඔබගේ ලිඳ ක්ලෝරීන්කරණය කරගැනීමට, ජලය ඝන අඩි 1000 කට ක්ලෝරීන් කුඩු ගිණි පෙට්ටි පියන් එකක ප්‍රමාණය බැගින් එක් කරන්න. ජලය ඝන අඩි 1000 ක පරිමාව ලීටර් 27,000 කට සමාන වේ. ඔබේ ලිඳට හෝ වතුර ටැංකියට අවශ්‍ය වන ක්ලෝරීන් ප්‍රමාණය ගණනය කිරීමට ඔබේ ප්‍රදේශයේ මහජන පරීක්ෂකවරයා සහය වනු ඇත.

පිසින ලද ආහාරම ගැනීමට සැමවිටම උත්සාහ ගන්න. පිසීමෙන් අනතුරුව වැඩි වේලාවක් ගත නොකර ආහාර ගන්න. වැඩි වේලාවක් තබාගත් සීතල වූ, පරණ වූ ආහාර ගැනීමෙන් රෝග පැතිර යාමට වැඩි ඉඩක් ලැබේ. මැස්සන්, වෙනත් කෘමීන්, හූනන්, මීයන් වැනි සතුන්ට ලඟාවිය නොහැකි වනසේ, ආහාර වසා ආරක්ෂිතව තබන්න. ඉතිරි වූ ආහාර ඔබ සිටින පරිසරයේ තැන තැන දමන්න එපා. ඉඳුල්, සිලිකවර, ප්ලාස්ටික් බඳුන්, කෑම කොල, සහ වෙනත් කැලිකසල නිසි අයුරින් නියමිත තැන්වලටම බැහැර කිරීමෙන්, මැස්සන් බෝවීම සහ රෝග පැතිරයාම අවම කරගත හැක. හැකි පමණින් මදුරුවන්ගෙන් ආරක්ෂා වී සිටින්න. මදුරුවන් බෝවීම පාලනය කිරීමට හැකි පමණින් කටයුතු කරන්න. මදුරුවන් බෝවීම මගින් ඩෙංගු, බරවා, මැලේරියාව වැනි රෝග පැතිරයාම සිදුවිය හැක.

ආහාර පිලියෙල කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර, සහ වැසිකිලි, කැසිකිලි යාමෙන් පසුව සබන් යොදා ඔබේ සහ ඔබේ දරුවන්ගේ දෑත් හොඳින් සෝදාගන්න. පළතුරු වැනිදේ ආහාරයට ගැනීමට පෙර හොඳින් සෝදාගන්න.

අවතැන් වුවත්, මළපහ කිරීමට සැමවිටම වැසිකිලියක් භාවිතා කරන්න. කුඩා දරුවන්ගේ මළපහ වුවද වැසිකිලියකටම බැහැර කරන්න. ඔබ අවතැන් වූ කාන්තාවක් නම්, ඔබට ආධාර කිරීමට එන සෞඛ්‍ය කාර්යමණ්ඩලය සහ වෙනත් ආධාර කරුවන් මගින් ඔබට අවශ්‍ය වන සනීපාරක්ෂක තුවා ලැබෙනු ඇත. සැමවිටම පිරිසිදු සනීපාරක්ෂක තුවා භාවිතා කිරීම සහ අවශ්‍ය පරිදි ඒවා මාරු කිරීම සිදුකරන්න. භාවිතාකරන ලද සනීපාරක්ෂක තුවා තැන තැන නොදමා, නිසි අයුරින් බැහැර කරන්න.

ඔබේ දරුවා මව්කිරි බොන වයසේ පසුවන්නේ නම්, දරුවාට දිගටම මව්කිරි ලබාදෙන්න. එමගින් දරුවා බෝවන රෝග වලින් ආරක්ෂා වන අතර, දරුවාගේ ප්‍රතිශක්තිය හෙවත් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ද ඉහළ යයි. ඔබ අවතැන් වී සිටියද, ඔබේ දරුවාට එන්නත් ලබාදීමට නිසි කාලය එළඹී ඇත්නම්, ඔබට ආධාර කිරීමට පැමිණෙන සෞඛ්‍ය නිලධාරීන්ට ඒ බව පවසා, ඔවුන්ගේ සහයෙන් ඔබේ දරුවා නිසි පරිදි එන්නත් කරවා ගන්න. සැමවිටම, ඔබේ දරුවාට කිරිපිටි ලබාදීමෙන් වලකින්න. කිරි බෝතල් භාවිතය ද දරුවාට බෝවන රෝග වැළඳීමට ඇති අවදානම වැඩිකරයි.

ඔබ ප්‍රසූතියට ආසන්න ගර්භණී මවක් නම්, ඔබට සහය වීමට පැමිණෙන සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ අනෙක් අයගේ සහයෙන් රෝහල් ගතවීම සිදුකල යුතුය.

අවතැන් වූ ඔබේ දරුවා ලිංගික අතවර වලට සහ අපචාර වලට ලක්වීමට ඉඩ ඇති බැවින්, සැමවිටම දරුවා ඔබ සමගම තබාගන්න. ඔබේ දරුවාගේ ආරක්ෂාව සඳහා වෙනත් පිටස්තර අය සමග තැබීමෙන් වලකින්න. සැමවිටම, ඔබේ දරුවා සතුටින් තබන්න.

දිනපතා දෙවරක් දත් මදින්නට අමතක කරන්න එපා.

ගංවතුරෙහි, වෙනත් ආපදාවක් හෝ අනතුරක් සිදුවිය හැකි ස්ථාන වල සෙල්ලම් කරන්නට හෝ ඇවිදින්නට යන්න එපා. ගංවතුරෙන් පෙඟී ඇති තාප්ප සහ බිත්ති කඩා වැටීමෙන් අනතුරු සිදුවිය හැකි බැවින්, ඒවා අසලින් ඉවත් වී සිටින්න. විදුලි රැහැන් හෝ පේණු කැඩී ඇත්නම්, ඒවා අසලින් ඉවත් වී සිටීමෙන් විදුලි සැර වැදීම මගින් සිදුවිය හැකි අනතුරු වලක්වා ගතහැක. ගංවතුර බැසගිය පසු, නිවසේ ප්‍රධාන ස්විචය එකවරම ක්‍රියාත්මක කරන්න යන්න එපා. එමගින්, තෙත බිත්ති, කැඩුණු රැහැන්, පේණු ආදිය ඔස්සේ විදුලි සැර වැදීම් හෝ ගිණිගැනීම් ඇතිවිය හැකි බව සිතට ගන්න. නිවසේ බිත්ති හොඳින් වියලුණු පසු, පළපුරුදු විදුලි කාර්මිකයෙකු ලවා නිවසේ විදුලි පරිපථය හොඳින් පරීක්ෂා කර, අවශ්‍ය අලුත්වැඩියා කිරීමෙන් පසුව පමණක් නිවසේ ප්‍රධාන ස්විචය ක්‍රියාත්මක කරන්න. නිවසේ ඇති විදුලි උපකරණ ද එකවරම ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඒවාද විදුලි කාර්මිකයෙකු ලවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව, දෝෂ රහිත නම් පමණක් ක්‍රියාත්මක කරන්න. විදුලි කොටන විට සහ අකුණු ගසන විට එළිමහනේ සිටීම අනාරක්ෂිත බව සිතට ගන්න. එවැනි අවස්ථාවක ආවරණය වූ ආරක්ෂිත තැනකට වී සිටින්න.

ඔබට හෝ දරුවාට දියර ලෙස මළපහ වීම, පලු දැමීම, උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ ඇත්නම්, ඉක්මනින්ම ප්‍රතිකාර ලබාගන්න. තුවාල ඇත්නම් නිසි පරිදි ඖෂධ ගල්වා ආවරණය කරගන්න. ශරීරයේ සීරිම් හෝ වෙනත් තුවාල ඇත්නම්, වතුරට බහින්න එපා. එමගින්, තුවාල ආසාදනය වීමට මෙන්ම මී උණ (Leptospirosis) වැනි මාරාන්තික වියහැකි රෝග ද වැළඳීමට අවදානමක් ඇත. ඔබට වතුරට බහින්නට සිදුවේ නම් හෝ වතුරට බැස්සේ නම් ඉක්මනින් සෞඛ්‍ය කණ්ඩායම හමුවී මී උණ සඳහා ලබාදෙන ඩොක්සිසයික්ලින් (Doxycycline) ඖෂධ මාත්‍රාව නිසි පරිදි ලබාගන්න. එම ඖෂධය වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට, ගර්භණී මව්වරුන්ට, මව්කිරි දෙන මව්වරුන්ට, සහ එම ඖෂධයට ආසාත්මිකතා (Allergy or hypersensitivity) ඇතිවන අයට භාවිතාකල නොහැකිය. ගංවතුර සමග සමේ රෝග, ඇස් රෝග, සහ උගුරේ ආසාදන ද පැතිර යා හැක. එම රෝග වැළඳුනහොත්, ඉක්මනින් ප්‍රතිකාර ගැනීම වැදගත් වේ.

ඔබ දියවැඩියාව, ආත්‍රයිටිස් (Arthritis), අධික රුධිර පීඩනය, හෘදයාබාධ, කොලෙස්ටරෝල්, අංශභාගය, ඇදුම වැනි දිගුකාලීන, බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියේ නම්, ඔබ අවතැන් වුවද, දිගටම එම ප්‍රතිකාර නිසි අයුරින් ලබාගත යුතුය. ඔබගේ ඖෂධ, රෝග සටහන්, සායන පොත්, සහ පරීක්ෂණ වාර්තා සැමවිටම ආරක්ෂිතව තබාගන්න. දිගටම ප්‍රතිකාර ලබාගැනීම සඳහා සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ උපකාරය ලබාගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: rachaelvoorhees)

 

© 2016, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "හදිසි ආපදා තත්ත්වයකදී සුවෙන් සිටින්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*