අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?

අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?

අංශභාගය (Stroke) යනු කුමන ආකාරයේ රෝගයක්ද? අංශභාගය යනු මොළයට රුධිරය සපයන ධමනි (Artery) නැමැති රුධිර වාහිනී වල රුධිර සංසරණයට බලපෑමක් සිදුවීමෙන් ඇතිවන රෝග තත්ත්වයකි. මොළයට ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සපයන ධමනියක ලේ කැටියක් සිරවීම හෝ ධමනියක් පිපිරී යාම නිසා අංශභාගය ඇතිවේ. එවිට, එම ධමනිය මගින් රුධිරය සපයන මොළයේ කොටස ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමෙන් මියයයි. අංශභාගය යනු ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා බලපාන හේතු අතර තෙවන ස්ථානය ගන්නා රෝගය වන අතර, මිනිසුන් ස්ථිරවම ආබාධිත තත්ත්වයට පත්කරන රෝග අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

අංශභාගය ඉක්මනින් හඳුනාගැනීමේ වැදගත්කම කුමක්ද? අංශභාගය ඉක්මනින් හඳුනාගෙන වහාම රෝගියා රෝහලකට ගෙනයාමෙන්, රෝගියා ආබාධිත තත්ත්වයට පත්වන ප්‍රමාණය අවම කරගත හැක. ඔබ රෝගියා තුළ මතුවන අවදානම් ලක්ෂණ (Warning signs) ඉක්මනින් හඳුනාගතහොත්, අදාළ රෝගියා වහා රෝහලකට ගෙනගොස් නිසි ප්‍රතිකාර ආරම්භ කිරීමට ප්‍රමාදයක් ඇති නොවේ. එමගින්, රෝගියාගේ ජීවිතයේ ගුණාත්මකභාවය (Quality of life) වැඩිදියුණු වීමට විශාල පිටුවහලක් ලැබේ.

 

අංශභාගයක රෝග ලක්ෂණ මොනවාද?

  • පාද, අත්, හෝ මුහුණේ ක්ෂණිකව හෝ කෙටි කාලයකදී ඇතිවන පණ නැතිවීම, දුර්වල වීම, හෝ හිරි ගතිය. මෙය විශේෂයෙන් ශරීරයේ එක් පැත්තක ඇතිවේ.
  • ක්ෂණිකව හෝ කෙටි කාලයකදී සිදුවන කථා කිරීමේ අපහසුතාවය, යමක් තේරුම් ගැනීමේ අපහසුතාවය, ගොත ගැහීම, හෝ හඬ අපැහැදිලි වීම.
  • ක්ෂණිකව හෝ කෙටි කාලයක් තුළදී සිදුවන එක් ඇසක හෝ ඇස් දෙකෙහිම පෙනීම දුර්වල වීම හෝ පෙනීම නැතිවී යාම.
  • ක්ෂණිකව හෝ කෙටි කාලයකදී සිදුවන සිහිනැතිවී යාම හෝ මානසික ව්‍යාකූලතාවය.
  • ක්ෂණිකව හෝ කෙටි කාලයක් තුළදී සිදුවන අත් දෙක යොදාගනිමින් කරන කාර්යයක් කිරීමට අපහසු වීම (Loss of coordination), ශරීරයේ සමබරතාවය නැතිවීම (Loss of balance), කරකැවිල්ල, හෝ ඇවිදීමට අපහසු වීම.
  • වෙනත් පැහැදිලි හේතුවක් නොමැතිව, ක්ෂණිකව හෝ කෙටි කලක් තුළ ඇතිවන තද හිසේ කැක්කුම.

 

අංශභාගය ඉක්මනින්ම හඳුනාගැනීම සඳහා ඔබට පහසුවෙන් කලහැකි ඉතා සරළ “FAST” නැමැති පරීක්ෂණයක් ඇත.

 

FAST යනු කුමක්ද?

Face (මුහුණ) – රෝගියාට සිනාසෙන ලෙස පවසන්න. ඉන් අනතුරුව, දිව දික්කරන ලෙස පවසන්න. එවිට, රෝගියාගේ කට හෝ දිව පැත්තකට ගොස් ඇතිදැයි බලන්න. රෝගියාගේ මුහුණෙහි පැත්තක හිරිගතියක් ඇතිදැයි විමසන්න.

Arm (අත) – රෝගියාට අත් දෙකම ඉහළට ඔසවන ලෙස පවසන්න. එක් අතක හිරිගතියක්, දුර්වල බවක්, හෝ අනෙක් අතට වඩා පහළට යාමක් ඇතිදැයි බලන්න.

Speech (කථනය) – සරළ වාක්‍යයක් නැවත කියන ලෙස රෝගියාට පවසන්න. රෝගියාට කථා කිරීමට නොහැකි දැයි, තේරුම් ගැනීමට අපහසු දැයි, හෝ වචන අපැහැදිලි හෝ ගොතගැසෙන සුලු දැයි බලන්න.

Time (කාලය) – අදාල රෝගියාට ඉහත සඳහන් කල ලක්ෂණ වලින් එකක් හෝ ඇත්නම් (එම රෝග ලක්ෂණය ඇතිවී නැවත මුලුමනින්ම යථා තත්ත්වයට පත්වී ඇතිවිට පවා), ඔබ ඉක්මනින්ම ක්‍රියාකාරී වී රෝගියා වහාම රෝහලට ගෙනයාමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. මක්නිසාද, අංශභාගය නැමැති රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා කාලය යනු ඉතාම වැදගත් සාධකයකි. අනෙක් අයගේ ද උදවු ඇතිව, වහාම රෝගියා රෝහල් ගතකිරීමට කටයුතු කරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: GreenFlames09)

 

සබැඳි ලිපි:

අංශභාගය හෙවත් ආඝාතය යනු කුමක්ද?
අංශභාගය (Stroke) වැළදෙන්නට ඔබටත් අවදානමක් තිබේද?
යළි අංශභාගය වැළඳීම වළක්වා ගන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*