කන්තුශ්වසන යෝග්‍යතාවය සහ බර අඩුකරගැනීම

කන්තුශ්වසන යෝග්‍යතාවය සහ බර අඩුකරගැනීම

කන්තුශ්වසන යෝග්‍යතාවය (Cardiorespiratory fitness) සහ බර අඩුකරගැනීම (Weight loss) අතරින් වඩා හොඳ කුමක්ද? ඔබ මෙම ප්‍රශ්නයට අදාළ පිළිතුර නොදන්නවා විය හැක. කන්තුශ්වසන යෝග්‍යතාවය යනු හෘදයේ සහ ශ්වසන පද්ධතියේ නිරෝගී සහ ශක්තිමත් භාවයයි. මෑත කාලයේදී කරන ලද පර්යේෂණයක් මගින් කන්තුශ්වසන යෝග්‍යතාවය, හෘද රෝග නිසා ඇතිවන මරණ ඇතුළුව සියලු හේතු නිසා ඇතිවන මරණ සඳහා ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුකරන බව සොයාගෙන ඇත. නමුත්, ශරීරයේ බර අඩු කරගැනීම පමණක් නිසා හෘද රෝග හේතුවෙන් ඇතිවන මරණ සහ අනෙකුත් සියලු හේතු මත සිදුවන මරණ අඩු නොවන බව පෙනී ගොස් ඇත.

ඔබගේ කන්තුශ්වසන යෝග්‍යතාවය නැති වුවහොත්, සියලු හේතු නිසා ඇතිවන මරණ සඳහා ඇති අවදානම ඉහළ යයි. ඔබට හොඳ ශරීර ස්කන්ධ දර්ශකය නැමැති අගය ලැබේ. මෙහිදී උස මීටර් වලින් ගත යුතුවේ. ශරීර ස්කන්ධ දර්ශකය මගින් පුද්ගලයෙකුගේ පෝෂණය පිළිබඳ අදහසක් ගත හැක.’>ශරීර ස්කන්ධ දර්ශකයක් (Body Mass Index/BMI) ඇතිවිට පවා, කන්තුශ්වසන යෝග්‍යතාවය වැඩිදියුණු කරගැනීම වඩා සුදුසු වේ. මක්නිසාද, අංශභාගය, දියවැඩියාව, හදවත් රෝග, පෙනහලු පිළිකා, සහ වෙනත් රෝග ඇතිවීමේ අවදානම එමගින් අඩුවේ.

කන්තුශ්වසන යෝග්‍යතාවය ඇතිකරගැනීම සහ පවත්වාගැනීම සඳහා දිනකට විනාඩි 20-60 බැගින්, සතියකට දින 3-5 ක් ස්වායු ව්‍යායාම (Aerobic exercises) කිරීම නිර්දේශ කර ඇත. මෙහිදී ව්‍යායාම කරන අතරතුර ඔබගේ හෘද ස්පන්දන වේගය, ඔබගේ උපරිම හෘද ස්පන්දන වේගයෙන් 65%-85% ක් පමණ පවත්වා ගැනීම වැදගත් වේ. මෙසේ නිතර ව්‍යායාම කිරීමෙන්, ඔබගේ හෘදය සෞඛ්‍ය සම්පන්නව විශාල වේ (Hypertrophy). එවිට, හෘදයේ රුධිරය පොම්ප කිරීමේ හැකියාව වැඩිදියුණු වේ. නිතර ව්‍යායාම කරන විට, මාංශ පේශි වල ඇති කුඩා රුධිර වාහිනී ප්‍රමාණය ද වැඩි වන බැවින්, මාංශ පේශි තුළ රුධිර සංසරණය තවදුරටත් ඉහළ යයි. ඒ නිසා මාංශ පේශි වලට රුධිරය ඔස්සේ ලැබෙන ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය ද ඉහළ යයි. ව්‍යායාම මගින් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය ද කාර්යක්ෂම වන අතර, එමගින් මාංශ පේශි ඇතුළු ශරීරයේ අනෙක් පටක වලට වැඩිපුර ඔක්සිජන් සැපයීමට පෙනහලු වලට හැකියාව ලැබේ.

ඔබගේ ශරීරයේ බර අඩු කරගැනීම ව්‍යායාම නොකර, ඔබ ආහාර ගන්නා රටාව වෙනස් කිරීමෙන් ද කල හැක. නමුත්, එහිදී ඔබගේ කන්තුශ්වසන යෝග්‍යතාවයේ වැඩිදියුණු වීමක් සිදුනොවේ. එමනිසා, ශරීරයේ බර අඩු කරගැනීමෙන් පමණක් සෑහීමකට පත් නොවී, කන්තුශ්වසන යෝග්‍යතාවය ද වැඩි කරගැනීම වඩා උචිත වේ. එමගින් හෘද රෝග හේතුවෙන් ඇතිවන මරණ ඇතුළුව, සියළු හේතු නිසා ඇතිවන මරණ සඳහා ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩු කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: Rance Costa)

 

සබැඳි ලිපි:

දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?
ශාරීරික යෝග්‍යතාවය සඳහා ඉඟි කිහිපයක්
සෞඛ්‍ය සම්පන්නව ව්‍යායාම කරන්නේ කොහොමද?
ප්‍රතිරෝධ පුහුණුව (Resistance training) මගින් ලැබෙන වාසි 20 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කන්තුශ්වසන යෝග්‍යතාවය සහ බර අඩුකරගැනීම" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*