ගර්භණී සමයේ ව්‍යායාම කිරීම වැදගත්ද?

ගර්භණී සමයේ ව්‍යායාම කිරීම වැදගත්ද?

ගර්භණී සමයේ ව්‍යායාම කිරීම සහ වෙහෙස වීම නොකල යුතු යැයි මතයක් සමාජයේ පවතී. ඒ එමගින් මවට සහ කුස තුළ වැඩෙන දරුවාට හානියක් වේ යැයි බියක් පවතින නිසා. එම මතය අප සමාජයේ පවතින හුඹස් බියක් ලෙස හැඳින්විය හැකියි. මෙම ලිපිය මගින් ගර්භණී සමයේ ව්‍යායාම කිරීමෙන් ලැබෙන වාසි, ගර්භණී මවක් වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාම කලයුතු අවස්ථා, සහ ගර්භණී මවක් ව්‍යායාම කිරීම නතර කලයුතු අවස්ථා පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ගර්භණී මවක් නිතර ව්‍යායාම කිරීමෙන්, ඇයට ගර්භණී සමයේදී ඇතිවන අපහසුතා අඩුවන අතර, සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ද හිමිවේ. ඒවා නම්,

  • කකුල් ඉදිමීම, පාද වල නහර ගැටගැසීම, සහ වෙහෙසකර බව වැනි ගැටළු ඇතිවීම අඩුවේ.
  • මානසික ආතතිය (Stress), විෂාදය (Depression), අනිසි බිය (Anxiety) , නින්ද නොයෑම (Insomnia) වැනි ගැටළු අඩුවේ.
  • දරු ප්‍රසූතිය සඳහා ගතවන කාලය අඩුවන අතර, දරු ප්‍රසූතිය පහසු වේ.
  • දරු ප්‍රසූතියේදී මතුවන ගැටළු හා සංකූලතා (Complications) අවම වේ.
  • දරු ප්‍රසූතියෙන් පසු ශරීරයේ බර අඩුවන අතර, බර පාලනය ද පහසු වේ.
  • ගර්භණී මවගේ හෘදය සහ පෙනහලු ශක්තිමත් මෙන්ම නිරෝගී ද වේ.
  • ගර්භණී සමයේදී දියවැඩියාව (Gestational diabetes), අධික රුධිර පීඩනය (Pregnancy-induced hypertension), සහ වෙනත් සංකූලතා ඇතිවීමට ඇති අවදානම අඩුවේ.
  • ගර්භණී මවගේ මානසික තත්ත්වය (Mood) වැඩිදියුණු කරයි.
  • ගර්භණී සමයේදී ඇතිවන කොන්දේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතා අඩුවේ.

නමුත්, ගර්භණී මවට පහත සඳහන් තත්ත්ව එකක් හෝ කිහිපයක් ඇත්නම්, ගර්භණී සමයේ ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට පෙර වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගැනීම උචිත වේ. එවැනි අවස්ථාවකදී, ගර්භණී මවක් වෛද්‍ය උපදෙස් වලට අනුකූලව හෝ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ව්‍යායාම කිරීම කල යුතුවේ.

  • හදවත් රෝග හෝ හෘද ස්පන්දන රිද්මයේ වෙනස්වීම් (Arrhythmias).
  • දිගු කාලීන පෙනහලු රෝග.
  • ගර්භණී සමයේදී මතුවන අධික රුධිර පීඩනය (Pregnancy-induced hypertension) සහ එහි සංකූලතා.
  • දෙවන හෝ තෙවන ත්‍රයිමාසික (Trimesters) තුළ වරින්වර හෝ දිගටම යෝනි මාර්ගයෙන් රුධිරය ගැලීම.
  • අතීතයේදී, දින සම්පූර්ණ වීමට පෙර, අඩු වයසින් දරුවෙක් බිහිකර තිබීම.
  • රක්තහීනතාවය (Anaemia) හෙවත් ලේ මදවීම.
  • ගර්භණී මවට මනාව පාලනය නොකල අපස්මාරය, තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන සම්බන්ධ රෝග, අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව පැවතීම.
  • මන්ද පෝෂණය.
  • ආහාර ගැනීමේ රටාවෙහි ඇතිවන රෝග (Eating disorders).
  • ගර්භණී මවගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index/BMI) 40 හෝ එයට වඩා වැඩිවීම.
  • කුස තුළ කලල එකකට වඩා වර්ධනය වෙමින් පැවතීම.
  • කුස තුළ දරුවාගේ වර්ධනය මද වීම (Intrauterine growth restriction).
  • ගර්භණී මවගේ ගැබ්ගෙල (Cervix) දුර්වල වීම.
  • ගැබ්ගෙල දුර්වල වීම නිසා ගැබ්ගෙලට මැහුම් යොදා තිබීම (Cervical cerclage).
  • දින සම්පූර්ණ වීමට පෙර ගර්භාෂයේ වතුර බෑගය පිපිරීම (Preterm rupture of membranes).
  • ගැබට සති 26 සම්පූර්ණ වූ පසු වැදැමහ ගැබ්ගෙලෙහි පිහිටීම (Placenta previa).
  • අධිකව දුම්පානය කිරීම.
  • විකලාංග (Orthopaedic) ගැටලු පැවතීම.
  • කිසිසේත්ම ක්‍රියාශීලී නොවන ජීවන රටාවක් පැවතීම.

ව්‍යායාම කරන අතරතුර ගර්භණී මවට පහත ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් ඇතිවේ නම්, වහාම ව්‍යායාම කිරීම නැවැත්විය යුතු අතර, වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම කලයුතු වේ.

  • පපුවේ වේදනාව.
  • පපුවේ ගැස්ම (Palpitations).
  • අධික හුස්ම ගැනීමේ අපහසුව.
  • කෙණ්ඩයේ වේදනාව සහ ඉදිමීම.
  • හිසේ කැක්කුම.
  • මාංශ පේශි දුර්වලතාවය.
  • විවේකයෙන් සිටින විට පවා හුස්ම ගැනීමේ අපහසුව පැවතීම.
  • උකුලේ හෝ යටිබඩේ වේදනාව.
  • යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම.
  • අධික වෙහෙසකර බව.
  • කුස තුළ දරුවාගේ චලනයන් අඩුවීම.
  • යෝනි මාර්ගය අවට හෝ කොන්දේ වේදනාවක් ඇතිවීම.
  • යෝනි මාර්ගයෙන් දියර ගැලීම
  • ගර්භාෂයේ හෝ කුසෙහි හැකිලෙන්නා සේ වේදනාවක් දැනීම.
  • කරකැවිල්ල.
  • ක්ලාන්තය.

 

(ඡායාරූප අනුග්‍රහය: A Healthier Michigan)

 

සබැඳි ලිපි:

සුවැති දරු උපතක් සඳහා ගර්භණී සමයේ ව්‍යායාම කරමු.
ගර්භණී සමයේදී බර පාලනය කරගන්නේ කොහොමද?
ගර්භණී මවක් නිවැරදිව නිදාගන්නේ කොහොමද?
ගර්භණී සමයේදී ඉරියවු නිවැරදි කරගන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ගර්භණී සමයේ ව්‍යායාම කිරීම වැදගත්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*