කුරුලෑ වලින් රුව රැකගමු!

කුරුලෑ වලින් රුව රැකගමු

කුරුලෑ යනු සමේ බහුලව ඇතිවන තත්ත්වයක් වන අතර, සාමාන්‍යයෙන් මුහුණ, පිට, සහ පපුව යන ප්‍රදේශ වල හටගනී. සමෙහි කලුහිස් (Blackheads) සහ සුදුහිස් (Whiteheads) හටගැනීම කුරුලෑ වල සරළ ආකාරය වේ. ප්‍රදාහයට ලක්වූ, ආසාදිත, සැරව බිබිලි හටගැනීම, කුරුලෑ වල උග්‍ර ස්වරූපය ලෙස හැඳින්විය හැකි අතර, ඒ නිසා සමේ කැළැල් ඇතිවීම ද සිදුවේ. එමනිසා, කුරුලෑ වලින් ඔබේ රූපාලංකාරයට බලපෑමක් ඇතිවේ.

කුරුලෑ ගැටවරයන් (Teenagers) අතර සහ තරුණ වැඩිහිටි අය අතර බහුලය. වයස 14-17 වන ගැහැණු ළමුන් අතර සහ වයස 16-19 වන පිරිමි ළමුන් අතර කුරුලෑ බහුලව දක්නට ඇත. සාමාන්‍යයෙන්, වයස විසි ගණන් වනවිට කුරුලෑ ඇතිවීම දක්නට නොලැබේ. ඇතැම් විට, කුරුලෑ වැඩිහිටි අවධිය තෙක්ම හටගන්නා අවස්ථා ඇත. වයස අවුරුදු 25 ට වැඩි කාන්තාවන්ගෙන් 5% කට පමණ සහ පිරිමි අයගෙන් 1% කට පමණ කුරුලෑ ඇතිබව දක්නට ලැබේ.

වෛද්‍යවරයෙකුගේ ප්‍රලේඛණයකින් (Prescription) තොරව, අනුගමනය කරන සරළ ප්‍රතිකර්ම වලින් කුරුලෑ පාලනය නොවේ නම්, ඔබගේ කුරුලෑ පිළිබඳ ඔබ නොසතුටින් සිටීනම්, හෝ ඔබ කුරුලෑ නිසා අපහසුතාවයන්ට ලක් වේනම්, ඔබගේ වෛද්‍යවරයා හමුවිය යුතුවේ.

කුරුලෑ ඇතිවීමට හේතු

සමේ ඇති ස්නෙහමය ග්‍රන්ථි (Sebaceous glands) මගින් තෙල් සහිත ස්නෙහය (Sebum) නැමැති දියරයක් ශ්‍රාවය කරන අතර, එමගින් සමේ ඇති රෝම සහ රෝම කූප වියලී යාමට නොදී ස්නේහනය (Lubrication) කරයි. සමෙහි වැඩිපුර ස්නෙහය (තෙල්) සෑදීම නිසා රෝම කූප වල කුඩා සිදුරු අවහිර වේ. තෙල් සහිත අවහිර වූ රෝම කූප සුදුහිස් සහ කලුහිස් ලෙස හැඳින්වේ. ඒවා සමෙහි ඇති බැක්ටීරියා මගින් ආසාදනය වී සැරව බිබිලි හටගනී.

කුරුලෑ ඇතිවීම වැඩිකරන සාධක

  • ගැටවරයන්ගේ ශරීරයේ ඇතිවන පිරිමි හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් (Testosterone)
  • කුරුලෑ පරම්පරාවෙන් පරම්පරාවට ඇතිවන බව පෙනෙන්නට ඇත.
  • කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ සිදුවන හෝමෝන වෙනස්වීම්
  • ගර්භණී අවධියේදී සිදුවන හෝමෝන වෙනස්වීම්
  • කාන්තාවන්ට ඇතිවන බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය (Poly-cystic Ovary Syndrome)
  • ඇතැම් ඖෂධ වල අතුරු ආබාධයක් ලෙස

ආහාර, දුර්වල සනීපාරක්ෂාව, සහ ලිංගික ක්‍රියා කුරුලෑ ඇතිකරන සාධක නොවේ.

කුරුලෑ පාලනය සඳහා ප්‍රතිකර්ම

  • ඔබට කුරුලෑ සරළ තත්ත්වයකින් (සුදුහිස් සහ කලුහිස්) පවතී නම්, වෛද්‍යවරයෙකුගේ ප්‍රලේඛණයකින් තොරව ගත හැකි බෙන්සොයිල් පෙරොක්සයිඩ් (Benzoyl Peroxide) අඩංගු ක්‍රීම් හෝ ජෙල් වර්ගයක් භාවිතා කල හැක. එමෙන්ම ජීවන රටාවේ ඇතැම් වෙනස්කම් ඇතිකර ගැනීමද කුරුලෑ වලින් මිදීම සඳහා වැදගත් වේ.
  • කුරුලෑ සහිත සම දිනකට දෙවරකට වඩා සේදීම නොකල යුතුවේ. සෝදන විට මෘදු සබන් වර්ගයක් හෝ පිරිසිදු කරන ආලේපනයක් (Clenser) සහ මද උණුසුම් ජලය භාවිතා කල යුතුය. උණුසුම වැඩි ජලයෙන් හෝ සීතල ජලයෙන් සේදීම මගින් කුරුලෑ වැඩිවේ. නිතර මුහුණ සේදීමෙන් සම උද්දීපනය (Irritation) වන බැවින්, කුරුලෑ වල තත්ත්වය උග්‍ර විය හැක.
  • සුදුහිස් සහ කලුහිස් මිරිකා ඉවත් කරන්න එපා. මක්නිසාද, එය තවත් කුරුලෑ ඇතිවීමට හේතුවන අතර, කුරුලෑ ආසාදනය වීමට ඇති අවදානම ද වැඩිකරයි.
  • රූපලාවන්‍යය සඳහා යොදාගන්නා ආලේපන භාවිතය අඩුකිරීම හෝ නතරකිරීම කලයුතු වේ. ආලේපන භාවිතා කරනවා නම්, ජලය අන්තර්ගත (Water-based), කුරුලෑ ඇති නොකරන වර්ග භාවිතා කරන්න. නිදාගැනීමට පෙර සමේ ඇති රූපලාවන්‍ය ආලේපන සියල්ල සෝදා ඉවත් කරන්න. ඔබේ සම වියළි නම්, සුවඳක් නොමැති, ජලය අඩංගු සම මෘදු කරන ආලේපනයක් (Emollient) භාවිතා කරන්න.
  • ඔබගේ හිසකෙස් නිතර සෝදන්න. හිසකෙස් මුහුණ මතට වැටීමට ඉඩ හරින්න එපා.
  • ව්‍යායාම කිරීමෙන් අනතුරුව ස්නානය කරන්න. මක්නිසාද, දහඩිය මගින් සම උද්දීපනය කර කුරුලෑ වල තත්ත්වය දරුණු අතට හරවයි.

කුරුලෑ සඳහා ඖෂධීය ප්‍රතිකාර

ඔබට උග්‍ර ලෙස කුරුලෑ පවතී නම් සහ ඉහත කී ප්‍රතිකර්ම වලින් කුරුලෑ වල සැලකිය යුතු වෙනසක් නැත්නම්, ඔබගේ වෛද්‍යවරයා මුණගැසිය යුතුවේ. එවිට ඔහු හෝ ඇය කුරුලෑ සඳහා ඖෂධීය ප්‍රතිකාර නියම කරනු ඇත. ඖෂධ මගින් කුරුලෑ පාලනය වීමට මාස 2-3 ක් වුවද ගතවිය හැක. පහත සඳහන් ඖෂධ කුරුලෑ වලින් මිදීම සඳහා ප්‍රතිකාර ලෙස යොදාගනී.

  • රෙටිනොයිඩ (Retinoids) අඩංගු ආලේපන
  • ප්‍රතිජීවක (Antibiotics) අඩංගු ආලේපන
  • ඇසිලැයික් අම්ලය (Azelaic acid)
  • බීමට ගන්නා ප්‍රතිජීවක ඖෂධ
  • මාරුවෙන් මාරුවට ඉහත ඖෂධ වර්ග කිහිපයක් එකවිට ද ලබාදේ.
  • ඉහත සඳහන් ඖෂධ මගින් කුරුලෑ පාලනය නොවේ නම්, අයිසොට්‍රෙටිනොයින් (Isotretinoin)
  • කාන්තාවන් සඳහා හෝමෝන ප්‍රතිකර්ම ද සාර්ථක ලෙස භාවිතා කල හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: Caitlin Regan)

 

© 2016, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කුරුලෑ වලින් රුව රැකගමු!" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*