නින්ද ගැන අලුත් තොරතුරු කිහිපයක්…

නින්ද ගැන අලුත් තොරතුරු කිහිපයක්

නින්ද ගැන අලුත් තොරතුරු දැනගන්න ඔබත් කැමති වේවි. මක්නිසාද, නින්ද ඒ තරමටම අපේ ජීවිතයට සම්බන්ධයි. සෑම කෙනෙක්ම තම ජීවිත කාලයෙන් තුනෙන් එකක් (1/3) පමණ නිදාගන්න බව ඔබ දන්නවාද? නින්ද ගැන සොයාගෙන තිබෙන අලුත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කරන්නයි අපි මේ ලිපිය යොදාගන්නේ. මේ තොරතුරු ඔබගේ දැනුමට මෙන්ම ඔබගේ සෞඛ්‍යය මනාව පවත්වා ගන්නත් වැදගත් වේවි.

  • නිදිමැරීම හෙවත් ප්‍රමාණවත් නින්දක් නොලැබීම අනිසි බිය (Anxiety) ඇතිවීමට හේතුවක් වෙනවා. නිතර නිදිමරන අය තුළ තරමක බියසුලු ස්වභාවයක් ඇතිවෙනවා.
  • ප්‍රමාණවත් නින්දක් නොලැබීම ඔබගේ හැකියාවන් වගේම සිතීමේ හැකියාව, මානසික ඒකාග්‍රතාවය, සහ බුද්ධිය සැලකිය යුතු ලෙස අඩුකරන්න සමත් වෙනවා. නිදිමැරීම ඔබගේ මනස ව්‍යාකූල කිරීමට සමත් වෙනවා යන්න එයින් ඔබට පැහැදිළි විය යුතුයි.
  • ඔබ අනිසි ලෙස නිදිමරාගෙන, අධ්‍යයන කටයුතු වල නිරත වෙනවා නම්, විභාග සහ අනෙකුත් පරීක්ෂණ වලින් අසමත් වීමේ ලොකු ඉඩක් තිබේ. ඒ නිසා, ප්‍රමාණවත් නින්දක් ලැබීම වැදගත් වෙනවා.
  • හොඳ නින්දක් ලැබීමෙන්, ඔබගේ ශරීරයේ බර ප්‍රමාණවත් ලෙස පවත්වාගෙන යාමට ඉඩ සැලසෙනවා. ඒ ඔබ ගන්නා ආහාර සහ ශාරීරික ක්‍රියාකාරකම් වල තත්ත්වය යහපත් වීමට නින්ද ඉවහල් වන බැවිනි. තරබාරුකම හා සම්බන්ධ ඇතැම් ජාන වල ක්‍රියාකාරීත්වය නිදිමැරීම මගින් වැඩිවන බව සොයාගෙන තිබේ. ප්‍රමාණවත් නින්දක් ලැබීමෙන් එම ජානවල සක්‍රීය වීම වලක්වන බවද පර්යේෂණ මගින් සොයාගත් තොරතුරක්.
  • නිදිමැරීමෙන් ඔබේ ප්‍රතිශක්තිය හෙවත් රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව සැලකිය යුතු ලෙස පහත වැටෙනවා. එනම්, ප්‍රමාණවත් නින්දක් නොලැබීම, ඔබ නිතර අසනීප වීමට ඉඩ සලසනවා.
  • නිදිමැරීම මගින් ඔබේ මොළයේ ඇතැම් ප්‍රදේශ වල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවන අතර, එමගින් ඔබ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වැඩියෙන් ගැනීමට පොළඹවන බව සොයාගෙන ඇත. එමනිසා, ඔබ දිනපතා වැඩිපුර කැලරි ප්‍රමාණයක් පරිභෝජනයට යොමුවන බැවින්, තරබාරු වීමට ඇති ඉඩකඩ වැඩිවේ.
  • දිනකට පැය 8 කට වඩා නිදාගන්නා අයට, හෘදයාබාධ, හෘද අකර්මණ්‍යතාව (Heart Failure), සහ අංශභාගය වැළඳීමට ඇති අවදානම ද වැඩි වෙනවා.
  • දිනකට පැය 6 කට වඩා අඩුවෙන් නිදාගැනීමත්, අංශභාගය වැළඳීමට ඇති අවදානම වැඩිකිරීමට හේතුවක් වෙනවා. ඒ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වීමෙන් සහ රුධිර පීඩනය වැඩිවීමෙන්.

මෙවැනි නින්ද ගැන අලුත් තොරතුරු මගින්, ප්‍රමාණවත් ලෙස නිදාගැනීම ඔබේ සෞඛ්‍යයට වගේම ක්‍රියාකාරීත්වයටත් එකසේ ගුණදායක බව ඔබට වැටහෙනවා ඇත. ඔබ වැඩිහිටි අයෙක් නම්, දිනකට පැය 6-8 ක් පමණ නිදාගැනීම කලයුතු වෙනවා.

 

(ඡායාරූප අනුග්‍රහය: Pedro Ribeiro Simões)

 

සබැඳි ලිපි:

හොඳ නින්දක් ලබාගන්නේ කෙසේද?
ගර්භණී මවක් නිවැරදිව නිදාගන්නේ කොහොමද?
හොඳ නින්දක් ලබාගැනීමෙන් ඇති වාසි

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "නින්ද ගැන අලුත් තොරතුරු කිහිපයක්…" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*