හොඳ නින්දක් ලබාගැනීමෙන් ඇති වාසි

හොඳ නින්දක් ලබාගැනීමෙන් ඇති වාසි

හොඳට නිදාගන්න අපි කවුරුත් කැමතියි. හොඳ නින්දක් ලබාගැනීමෙන් අපට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකරන්නත් හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් දවසකට පැය 6-8 ක් නිදාගත යුතුයි. වැඩිපුර නිදාගැනීම මෙන්ම අඩුවෙන් නිදාගැනීමත් ඔබගේ ජීවිත කාලය කෙටි කරන්න සමත් වෙනවා. ප්‍රමාණවත් අයුරින් නිදාගැනීමෙන් ඇතිවන වාසි මොනවාද යන්න පැහැදිලි කරන්නයි අපි සූදානම් වෙන්නේ.

  • ඔබගේ මොළය දහවල් කාලයේදී ගොඩක් වෙහෙසෙනවා. එය විවේක ගන්නේ ඔබ නින්දෙහි පසුවන විටයි. මෙම විවේක ගැනීමෙන් ඔබේ මානසික ආතතිය (Stress), අනිසි බිය (Anxiety), විෂාදය (Depression) , සහ නොරුස්සනා බව ආදී මනෝභාවයන් අඩු වෙනවා.
  • හොඳ නින්දක් ලැබූ පසු, ඔබට ඊලඟ දිනයෙහි අවදිවන විට නැවුම් බවක් දැනෙනවා. එය දෛනික ක්‍රියාකාරකම් සාර්ථක කරගැනීමට ගොඩක් වැදගත්.
  • හොඳ නින්දක් ලැබීමෙන්, ඔබේ ක්‍රියාකාරීත්වය, මානසික තත්ත්වය (Mood), සහ මානසික ඒකාග්‍රතාවය වැඩිදියුණු වෙනවා. ඒ වගේම, ඔබ වැඩකරන අතරතුර අනතුරු වලට ලක්වීමට සහ තුවාළ වීමට ඇති ඉඩකඩත් අවම වෙනවා.
  • දිනපතා ඔබගේ ශරීරයේ හානි වන පටක යලි අලුත්වැඩියා කරගන්නේත් ඔබ නින්දෙහි පසුවන විටයි. ඒ නිසා, හොඳ නින්දක් ලබාගැනීම ඔබගේ ජීවිත කාලය වැඩිකරනවා මෙන්ම, ඔබගේ පෙනුම ආරක්ෂා කරගැනීමටත් වැදගත් වෙනවා.
  • වැදගත් තොරතුරු ඔබගේ දිගුකාලීන මතකයෙහි තැන්පත් වෙන්නෙත්, ඔබ නින්දෙහි පසුවන විටයි. එමනිසා, හොඳ නින්දක් ඔබේ මතකය වැඩි කරන්නට සමත් වේ. නින්ද යාමට පෙර මතකයේ තබාගත යුතු තොරතුරු නැවත මෙනෙහි කිරීම ඔබේ මතකය තවත් වැඩිකරනු ඇත.
  • නින්ද ශරීරයේ ප්‍රදාහයන් (Inflammation) ඇතිකරන රසායන ද්‍රව්‍ය වල සහ මානසික ආතතිය ඇතිවිට ශ්‍රාවය වන ආතති හෝමෝන (Stress hormones) වල මට්ටම පහළ දමන බැවින්, ප්‍රදාහයන් සුවවීම සහ මානසික ආතතියෙන් ඇතිවන සංකූලතා අඩුවීම සිදුවේ. එමනිසා, හෘද රෝග, අංශභාගය, දියවැඩියාව, සන්ධි ප්‍රදාහ (Arthritis), අධික රුධිර පීඩනය, සහ අකාලයේ වයසක පෙනුමක් ලැබීම ආදිය ඇතිවීමට ඇති අවදානම අඩුවේ. හොඳ නින්දක් මගින් ඔබේ ප්‍රතිශක්තිය ද වැඩිවේ.
  • ප්‍රමාණවත් නින්දක් ලැබීමෙන් දිගුකලක් සුවෙන් සිටීමට හැකියාව ලැබේ.
  • සෞඛ්‍ය සම්පන්න බරක් ඔබේ ශරීරයේ පැවතීමට ද නින්ද ඉවහල් වේ.
  • කුඩා දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය මානව වර්ධක හෝමෝනය (Human Growth Hormone) ශ්‍රාවය වන්නේ ද නින්දෙහි පසුවන විට බැවින්, ඔබේ දරුවා හොඳින් නිදාගැනීම ඔහුගේ හෝ ඇයගේ මනා වර්ධනයට ඉතා වැදගත් වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: rachel CALAMUSA)

 

සබැඳි ලිපි:

ගර්භණී මවක් නිවැරදිව නිදාගන්නේ කොහොමද?
හොඳ නින්දක් ලබාගන්නේ කෙසේද?
නින්ද ගැන අලුත් තොරතුරු කිහිපයක්…

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "හොඳ නින්දක් ලබාගැනීමෙන් ඇති වාසි"

  1. Chathura Sankalpa | January 9, 2017 at 9:56 am | Reply

    very good

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*