අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්…

අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්

අධික රුධිර පීඩනය (Hypertension) වත්මන් සමාජය තුළ බහුලව පවතින රෝග තත්ත්වයකි. එය යම් පුද්ගලයෙකුට වැළඳුන පසු බොහෝවිට යලි සුවකිරීමට නොහැකි අතර, රුධිර පීඩනය පාලනය කිරීම පමණක් සිදුකල හැක. අධික රුධිර පීඩනය පාලනය නොකිරීම නිසා හදවත් රෝග, හෘදය අකර්මණ්‍ය වීම, උපුලුව (Aneurysm), අංශභාගය, වකුගඩු රෝග, ඇස් පෙනීමට හානි සිදුවීම, මතකය අඩුවීම වැනි සංකීර්ණ සංකූලතා ඇතිවේ. ඇතැම් සරළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, අධික රුධිර පීඩනය මනාව පාලනය කිරීමට උපකාරී වේ. ඖෂධ භාවිතය, ආහාර, සහ ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම මෙයට අයත් වේ. පහත සඳහන් ඉඟි 10 අනුගමනය කිරීමෙන් ඔබගේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමෙහි පවත්වා ගැනීමට ඔබට හැකිවනු ඇත.

  • ඔබ රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඖෂධ (Anti-hypertensives) ලබාගන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන ලද ඖෂධ නිවැරදිව, නියමාකාරයෙන් භාවිතා කරන්න. මසකට වරක් සායනයට ගොස් ඔබේ වෛද්‍යවරයා හමුවී, ඔහුගේ හෝ ඇයගේ උපදෙස් අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
  • වේගයෙන් ඇවිදීම (Brisk walking), සෙමින් දිවීම (Jogging), ගෙවත්තේ වැඩකිරීම, හෝ බයිසිකල් පැදීම වැනි මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් (Moderate intensity physical activities), දිනකට විනාඩි 30-45 බැගින්, අවම වශයෙන් සතියකට දින 5 ක් වත් කරන්න.
  • ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index/BMI) 18.5 ත් 24.9 ත් අතර පවත්වා ගන්න. එය 22-23 අතර පවත්වා ගැනීම වඩාත් උචිත වේ.
  • ආහාර මිළදී ගන්නා විට, ඒවායේ ඇති ලේබල් කියවීමට පුරුදු වන්න. එවිට, එම ලේබල් වල සඳහන් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන් පිළිබඳව වැටහීමක් ලබාගත හැක. ලුණු අඩු, මේදය අඩු හෝ රහිත, සහ සීනි අඩු හෝ රහිත ආහාරපාන තෝරාගන්න.
  • ලුණු වැඩිපුර ගැනීම රුධිර පීඩනය වැඩිකරන බැවින් ලුණු භාවිතය සීමා කරන්න. වැඩිහිටියෙකු දිනකට ලුණු ග්‍රෑම් 2.4 කට වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කල යුතුය.
  • දියවන තන්තු හෝ කෙඳි (Soluble fibres) වැඩිපුර ඇති කුරුට්ට සහිත ධාන්‍ය සහ ඒවායෙන් තැනූ ආහාර, කොළ පැහැති එළවලු, පළතුරු, ඇට වර්ග, කජු, සහ රනිල භෝග ආදිය ආහාරයට ගන්න.
  • මේදය අඩු හෝ මේදය රහිත කිරි ආහාර අනුභව කරන්න.
  • ඇල්කොහොල් හෙවත් මත්පැන් භාවිතයෙන් වලකින්න.
  • දුම්පානයෙන් වලකින්න
  • තෙල් සහිත මස් වර්ග අනුභවය සීමා කරන්න. තෙල් අඩු ප්‍රෝටීන් වර්ග වන කුකුලු මස්, බිත්තර සුදු මදය, බෝංචි ඇට, මාලු, ඉස්සන්, පොකිරිස්සන්, සහ දැල්ලන් ආහාරයට ගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Jasleen Kaur)

 

සබැඳි ලිපි:

අධික රුධිර පීඩනය ගැන මදක් දැනගනිමු.
අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද?
අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු.
ඔබට අධික රුධිර පීඩනය ඇතැයි රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?
රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස්කර ගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්…" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*