බර අඩු කරගැනීමට වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගන්න.

බර අඩු කරගැනීමට වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගන්න.

වැඩිපුර ප්‍රොටීන් ආහාරයට ගැනීමෙන් ඔබගේ ශරීරයේ බර අඩු කරගන්න පුලුවන් බව ඔබ දන්නවාද? මෙම ප්‍රශ්නය ඇසූ විට සමහර අය විමතියට පත්වෙන්නත් පුලුවන්. මෙම ලිපිය මගින්, වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගැනීමෙන් බර අඩුවන්නේ ඇයිද යන්න විමසා බලන්නයි අපි සූදානම් වෙන්නේ.

ඔබ ආහාර ගනිමින් සිටින අතරතුර, ආහාර ගෙන අවසන් වන්නටත් පෙර, ඔබේ කුස පිරී ඇති බව හඟවන්නට සංඥාවක් ඔබේ මොළයට යවන්න ආහාරයේ ඇති ප්‍රෝටීන් වලට පුලුවන්. ඒ සඳහා ඔබේ ආහාරයේ ඇති කාබෝහයිඩ්‍රේට් (පිෂ්ටය) සහ මේදයට වඩා හැකියාවක් ප්‍රෝටීන් වලට තිබේ. එමනිසා, දිනපතා ඔබ ගන්නා ආහාර ප්‍රමාණය සහ කැලරි ප්‍රමාණය සැලකිය යුතු ලෙස සීමා කරන්න ප්‍රෝටීන් වලට හැකියාව තිබෙනවා. ඔබේ ආහාරයේ ඇති ප්‍රෝටීන් කොටස වැඩිකිරීමෙන්, කාබෝහයිඩ්‍රේට් සහ මේදය කොටස් අඩු කරන්න ඔබට පුලුවන්.

ප්‍රෝටීන් වල ලියුසින් (Leucine) නැමැති ඇමිනෝ අම්ලයක් (Amino acid) තිබෙනවා. ව්‍යායාම කරන අතරතුර, ඔබගේ මාංශ පේශි වල ප්‍රමාණය අඩු නොවී පවත්වාගන්න සහ ඉන්සියුලින් (Insulin) හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න ලියුසින් වලට පුලුවන්. ඔබගේ මාංශ පේශි භාවිතා කරන සීනි (ග්ලූකෝස්) ප්‍රමාණය වැඩි කරන්න ඉන්සියුලින් ඉවහල් වෙනවා. එමගින්, රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය පාලනය වෙනවා. එවිට, රුධිරයේ වැඩිපුර ග්ලූකෝස් ඇති විට, මේදය ලෙස ශරීරයේ තැන්පත් වීමෙන් වන ශරීරයේ බර වැඩිවීමත් වැලකෙනවා. තවද, ලියුසින් මගින් ලෙප්ටින් (Leptin) නැමැති හෝමෝනයේ ක්‍රියාකාරීත්වය ද වැඩිකරන අතර, එමගින් ආහාර වලට ඇති අධික රුචිය අඩු කෙරේ.

ප්‍රෝටීන් මගින් ඔබේ ශරීරයේ තාප නිෂ්පාදන ක්‍රියාවලිය (Thermogenesis) වැඩිකරන අතර, එමගින් ශරීරයේ උෂ්ණත්වය මදක් වැඩිවෙනවා. එවිට, ආහාර වලින් කුස පිරී ඇති බව දැනෙන අතර, එමගින් ආහාර රුචිය පාලනය වේ. ශරීරයේ උෂ්ණත්වය වැඩිවන විට, පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල වේගය ද මදක් වැඩි වෙනවා. එමගින්, කැලරි දහනය වන ප්‍රමාණය ද ඉහළ යයි. දිගුකාලීනව, ශරීරයේ තාප නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි වීමෙන්, ප්‍රෝටීන වල ඇති ශක්ති කාර්යක්ෂමතාවය (Energy efficiency) එනම් කැලරි අගය ද අඩුවන බැවින්, ශරීරයේ බර වැඩිවීම තවදුරටත් වැලකෙනවා.

කාය වර්ධනය කර, මේදය රහිත සිරුරක් පවත්වා ගැනීමට ඔබට අවශ්‍ය නම්, ඔබ ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට ගත යුතුයි. ආහාරයේ ඇති ප්‍රෝටීන් මගින්, මාංශ පේශි තුළ ප්‍රෝටීන් නිෂ්පාදනය (Muscle protein anabolism) වැඩි කරමින්, මාංශ පේශි වර්ධනය කරනවා. එපමණක් නොව, ඒවා ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල වේගය වැඩිකරමින් කැලරි දහනය ද වේගවත් කිරීමට සමත් වෙනවා.

ඔබගේ ශරීරයේ බර කිලෝග්‍රෑම් එකකට, ප්‍රෝටීන් ග්‍රෑම් 1-2 ක් පමණ දිනකට ගත යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. උදාහරණයක් වශයෙන්, ඔබේ බර කිලෝග්‍රෑම් 60 ක් නම්, ඔබ ප්‍රෝටීන් ග්‍රෑම් 60-120 ක් පමණ දිනකට ආහාරයට ගත යුතුයි.

බර අඩු කරගැනීම සඳහා ගත යුතු ප්‍රෝටීන් ප්‍රභව:

මාළු, ඉස්සන්, පොකිරිස්සන්, දැල්ලන්, කරවල, සම ඉවත් කරන ලද කුකුලු මස්, මේදය අඩු හෝ මේදය රහිත කිරි ආහාර (යොදය රහිත කිරි සහ යෝගට්), බිත්තර, රනිල භෝග (කඩල, මුං ඇට, කව්පි, බෝංචි ඇට, සොයා බෝංචි ඇට, පරිප්පු, රටකජු), කජු, රතු කැකුළු සහල්, කුරුට්ට සහිත ධාන්‍ය වලින් සාදන ආහාර

 

(ඡායාරූප අනුග්‍රහය: ornello_pics)

 

සබැඳි ලිපි:

බර අඩු කරගැනීමට තෙල් අඩු, කැල්සියම් වැඩි ආහාර…
ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගන්නේ කොහොමද?
ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…
ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "බර අඩු කරගැනීමට වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගන්න." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*