බර අඩු කරගැනීමට තෙල් අඩු, කැල්සියම් වැඩි ආහාර…

බර අඩු කරගැනීමට තෙල් අඩු, කැල්සියම් වැඩි කෑම

තෙල් අඩු ආහාර පමණක් ආහාරයට ගන්නවාට වඩා තෙල් අඩු, කැල්සියම් වැඩි ආහාර පරිභෝජනය කිරීමෙන් වැඩිපුර බර අඩු කරගන්න පුලුවන්. මෙය හෙලිවී ඇත්තේ නව අධ්‍යයන කිහිපයකින්. මෙසේ වන්නේ ඇයි දැයි විමසා බලමු.

අපේ ශරීරයේ ඇති කැල්සියම් වලින් කොටසක් මේද පටක වල ඇති මේද සෛල තුළ ගබඩා වී තිබේ. එම කැල්සියම් වලට, මේද පටක තුළ මේදය ගබඩා වීම මෙන්ම මේදය දහනය කිරීමේ ක්‍රියාවලියත් පාලනය කරන්න හැකියාව තිබෙනවා. සෛල තුළ වැඩිපුර කැල්සියම් අඩංගු වන මේද පටක වල වැඩිපුර මේදය දහනය වන අතර, එමගින් ශරීරයේ බර අඩුවීම ද සිදුවෙනවා. කැල්සියම් වැඩියෙන් තිබෙන ආහාර ගැනීම මගින්, ශරීරයේ මේදය ගබඩා වෙනවාට වඩා වැඩිපුර මේදය දහනය කිරීම සිදුවේ. ඔබට කැල්සියම් ඌණතාවයක් තිබේ නම්, කැල්සිට්‍රියෝල් (Calcitriol) නම් වූ රසායනික ද්‍රව්‍යයක් ඔබගේ වකුගඩු තුළ නිෂ්පාදනය වෙනවා. කැල්සිට්‍රියෝල්, විටමින් D වල සක්‍රීය ප්‍රභේදයක් වන අතර, විටමින් D ආධාරයෙන් නිෂ්පාදනය කරයි. මෙම කැල්සිට්‍රියෝල් මගින් මේද පටක තුළ ඇති මේද සෛල සංඛ්‍යාව වැඩි කරන නිසා වැඩිපුර මේදය තැන්පත් වීමෙන් ඔබේ ශරීරය තවදුරටත් මහත් වීම සිදුවේ. එමනිසා, ආහාර මගින් වැඩිපුර කැල්සියම් ගැනීමෙන්, කැල්සිට්‍රියෝල් නිෂ්පාදනය අඩුවන අතර, මේදය දහනය වීම ද වැඩිවේ.

කැල්සියම් වැඩි, මේදය රහිත හෝ මේදය අඩු කිරි නිෂ්පාදන (කිරි සහ යෝගට්) ශරීරයේ බර අඩු කරගැනීමට හොඳ ආහාරයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ඒ වගේම, ආහාර වල ඇති කැල්සියම් මගින් ශරීරයේ තාප නිෂ්පාදන ක්‍රියාවලිය (Thermogenesis) ද තරමක් වැඩි කරයි. එමගින්, ශරීරයේ මේදය දහනය වීම වැඩිවන අතර, කැල්සියම් වල ක්‍රියාකාරීත්වය ද තවදුරටත් වැඩි කරයි.

ප්‍රමාණවත් ලෙස කැල්සියම් ආහාරයට ගැනීමෙන්, වැඩිපුර ආහාර ගැනීමට ඇතිවන ඇල්ම ද අඩු කරයි. එමගින්, දිනපතා ආහාර මගින් ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය සීමා වේ. එපමණක් නොව, කැල්සියම් වලට ශරීරයට හානිකර කොලෙස්ටරෝල් අඩුකිරීමට ද හැකියාව ඇත. එමගින්, හෘද රෝග සඳහා ඇති අවදානම ද අඩුවේ.

ඔබට කිරි නිෂ්පාදන ආහාරයට ගැනීමට අපහසු නම්, කැල්සියම් වැඩිපුර අඩංගු වන වෙනත් ආහාර පරිභෝජනය කල හැක.

කැල්සියම් වැඩිපුර ඇති වෙනත් ආහාර:

කොළ පැහැ එළවලු (කතුරුමුරුංගා, මුරුංගා කොල, කරපිංචා කොල, කටු තම්පලා, සහ මුකුණුවැන්න ආදිය), අර්තාපල්, නෙළුම් අල, කඩල, කොට්ටං, තල, කජු, රටකජු, සෝයා බෝංචි, දොඩම්, දිවුල්, මාලු (හාල්මැස්සා, කූනිස්සා, හුරුල්ලා, සාලයා, කාරල්ලා, කෙලවල්ලා, කුම්බලාවා, සහ ටින් මාලු ආදිය)

වැඩිහිටි පිරිමි අයෙකු දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 1000-1200 ක් ආහාරයට ගත යුතු අතර, වැඩිහිටි ගැහැණු අයෙකු දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 1000-1300 ක් ආහාරයට ගත යුතු වේ.

ඔබ කැල්සියම් ආහාර අතිරේකයක් (Supplement) ලෙස ගන්නවා නම්, මැග්නීසියම්, සින්ක්, සහ විටමින් D සමග ගැනීමෙන් ශරීරයට කැල්සියම් උරාගන්නා ප්‍රමාණය වැඩිවේ.

කෙසේ නමුත්, කැල්සියම් වැඩිපුර ඇති, තෙල් අධික ආහාර ගැනීමෙන් තවදුරටත් ශරීරයේ බර වැඩිවන බව ද කිව යුතුය.

 

(ඡායාරූප අනුග්‍රහය: Iain Buchanan)

 

සබැඳි ලිපි:

ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගන්නේ කොහොමද?
ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…
ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්
බර අඩු කරගැනීමට වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගන්න.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "බර අඩු කරගැනීමට තෙල් අඩු, කැල්සියම් වැඩි ආහාර…" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*