ගර්භණී මවක් නිවැරදිව නිදාගන්නේ කොහොමද?

ගර්භණීභාවය සහ නින්ද

ගර්භණීභාවය සෑම විවාහක කාන්තාවක්ම පාහේ ප්‍රාර්ථනා කරන දෙයක් වන අතර, ගර්භණී මවකට හොඳ නින්දක් ලැබීම ඉතාම වැදගත්. නමුත්, ගර්භණී කාලයේදී සැප පහසු ලෙස නිදාගැනීම බොහෝ කාන්තාවන්ට ගැටළුවක් වෙනවා. ගර්භණී කාන්තාවන් විසින් ශාරීරික අපහසුතා ඇතිවීම හේතුවෙන් ඇතැම් නිදාගැනීමේ ඉරියවු අතහැර දැමීම දක්නට ලැබෙන්නක්. ගර්භණී කාලයේදී ඔබගේ නින්දට බාධා කරන හේතු සහ තත්ත්ව ගණනාවක් ඇත. ඒවා මොනවාදැයි අපි විමසා බලමු.

  • කොන්දේ වේදනාව
  • ක්‍රමයෙන් විශාල වන උදරය
  • බඩ පපුව දැවිල්ල
  • නින්ද නොයාම
  • හුස්ම ගැනීමේ අපහසුව

එසේ නම්, හොඳ නින්දක් ලබාගන්නේ කෙසේද? ඇතැම් නිදා ගැනීමේ ඉරියවු ගර්භණී මවට හොඳින් නිදාගැනීමට අවස්ථාව සලසා දෙනවා. ගර්භණී කාලයේදී එක් පැත්තකට හෝ එක් ඇලයකට හැරී නිදාගැනීම වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. එමගින්, ගර්භණී ඔබගේ නින්දට බාධා ඇතිවීම අවම කරන්න පුලුවන්. නිදාගැනීමට හොඳම පැත්ත ඔබගේ වම් පැත්තයි. වම්පසට හැරී නිදාගන්නා විට කකුල් උකුලෙන් සහ දනහිසෙන් නවා තබාගන්න. අවශ්‍ය නම් ඔබට පහසු ලෙස කකුල් දෙක අතර මෘදු කොට්ටයක් තබාගැනීමේ වරදක් නැහැ.

පැත්තකට හැරී නිදාගැනීමෙන් ඔබගේ හදවතට හොඳින් රුධිරය ගලා එන අතර, හෘදයෙන් පොම්ප කරන රුධිරය ද ශරීරය පුරා හොඳින් ගලායෑම සිදුවෙනවා. ගර්භණී ඔබ උඩුබැලි අතට නිදාගත්තොත්, ක්‍රමයෙන් විශාල වන දරුගැබ නිසා උදරයේ ඇති ප්‍රධාන ශිරාව (අධර මහා ශිරාව) තෙරපීමකට ලක්වෙන්න පුලුවන්. එවිට ශරීරයේ පහළ කොටස් වල සිට හදවතට රුධිරය ගලා ඒමට බාධා සිදුවෙනවා. ඒ වගේම, හදවතේ සිට ශරීරයේ අවයව පද්ධති වලට රුධිරය ගෙනයන ප්‍රධාන ධමනිය (සංස්ථානික මහා ධමනිය) අවහිර වීමත් සිදුවෙනවා. එමගින්, ඔබගේ ශරීරයේ අවයව වලට රුධිරය ගලායෑම හොඳින් සිදුවන්නේ නැහැ. එවිට, ඔබගේ ගර්භාශයට වගේම කුස තුළ වර්ධනය වන දරුවාටත් හොඳ රුධිර සැපයුමක් ලැබෙන්නේ නැහැ. එමනිසා, ගර්භණී ඔබ පැත්තකට හැරී නිදාගැනීමෙන්, ඔබගේ හදවතට, පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් වලින් සපිරි රුධිරය වැඩි ප්‍රමාණයක් වැදැමහ ඔස්සේ දරුවාට පොම්ප කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම, ඔබගේ අවයව පද්ධති වලටත් හොඳ රුධිර සැපයුමක් ලැබෙනවා. මෙම නිදාගැනීමේ ඉරියවුව සැමවිටම ගර්භණී මාතාවකට සැප පහසු ලෙස නිදාගැනීමට ඉඩකඩ සලසා දෙන අතරම, ඇයගේ මානසික ආතතිය ද සුව කරයි.

මෙම නිදාගැනීමේ ඉරියවුවත් සමගම උදරයට යටින් මෘදු කොට්ටයක් තබාගැනීම මගින් කොන්දේ වේදනාව සමනය කරගන්නත් පුලුවන්.

ඇතැම් විට, ගර්භණී සමයේ අවසාන කාලයේදී, විශාල වූ උදරය මගින් පෙනහලු තෙරපීම නිසා, ගර්භණී ඔබට හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවිය හැකියි. එවිට, ඔබගේ ශරීරයේ ඉණෙන් ඉහල කොටස මදක් එසවෙන සේ කොට්ට තබා පැත්තට හැරී නිදාගැනීමෙන් හුස්ම ගැනීමේ අපහසුව සමනය කරගන්න පුලුවන්. ගර්භණී අවධියේදී ඇතිවන බඩ පපුව දැවිල්ල ද, මෙම නිදාගැනීමේ ඉරියව්ව මගින් නිවැරදි කරගන්න හැකියාව ලැබෙනවා.

මෙම නිදාගැනීමේ ඉරියවු මගින්, ගර්භණී ඔබට සුව පහසු ලෙස නිදාගැනීමට හැකිවන අතර, එමගින්, ඔබගේත් කුස තුළ වැඩෙන දරුවාගේත් සෞඛ්‍යය මනාව පවත්වා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

කෙසේ වුවත්, උඩුබැලි අතට නිදාගැනීමත්, කුස යටවන සේ නිදාගැනීමත් නොකල යුතුයි.

උඩුබැලි අතට නිදාගැනීමෙන් පහත සඳහන් අපහසුතා ඇතිවේ.

  • හුස්ම ගැනීමේ අපහසුතාවය
  • කොන්දේ වේදනාව
  • බඩ පපුව දැවිල්ල
  • අසාමාන්‍ය ලෙස රුධිර පීඩනය අඩුවීම.
  • අර්ශස් අමාරුව
  • කුස තුළ වැඩෙන දරුවාට සහ අවයව පද්ධති වලට රුධිර ගමනාගමනය අඩුවීම.

කුස යටවන සේ නිදාගැනීම ගර්භණී ඔබට ශාරීරික අපහසුතා ඇතිකරන අතර, ඔබගේ සුව නින්දට බාධා කරයි.

 

(ඡායාරූප අනුග්‍රහය: Bonbon)

 

සබැඳි ලිපි:

ගර්භණී සමයේ ව්‍යායාම කිරීම වැදගත්ද?
හොඳ නින්දක් ලබාගැනීමෙන් ඇති වාසි
හොඳ නින්දක් ලබාගන්නේ කෙසේද?
නින්ද ගැන අලුත් තොරතුරු කිහිපයක්…

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ගර්භණී මවක් නිවැරදිව නිදාගන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*