එළවලු සමග සුවැති දිවියක්…

එළවලු සමග සුවැති දිවියක්

එළවලු නොමැතිව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගැන සිතන්න අපහසුයි. ඒ තරමටම, එළවලු සුවැති දිවියකට සම්බන්ධයි. ඔබ දිනපතා එළවලු සැලකිය යුතු ප්‍රමාණයක් ආහාරයට ගන්නවා නම්, එය ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු වෙන්නට මනා පිටුවහලක් වෙනවා. එළවලු මේ තරම් සෞඛ්‍ය සම්පන්න වෙන්නේ ඇයි? මක්නිසාද, එළවලු වල පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් බහුලව තිබෙනවා. දිනපතා එළවලු කෝප්ප හෝ කොටස් 5 ත් 7 ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් සුවැති දිවියකට හොඳ අඩිතාලමක් දමන්න පුලුවන්. එළවලු සමග සුවැති දිවියක් ලැබෙන්නේ ඇයි?

එළවලු වල දියවන සහ දිය නොවන තන්තු (Soluble & insoluble fibres) බහුලව තිබෙනවා. දියවන තන්තු හෝ කෙඳි (Soluble fibres) ආහාර ජීර්ණ පද්ධතිය තුළදී, ජෙලි වැනි ද්‍රව්‍යයක් බවට පත්වෙනවා. එමගින්, ආහාර ජීර්ණය වන වේගය මදක් අඩු වෙනවා. එවිට, ඔබේ ආමාශයේ ඇති ආහාර, ආහාර ජීර්ණ පද්ධතියේ පහළට ගමන් කිරීම ප්‍රමාද වීම සිදුවේ. එමනිසා, ඔබට ආහාර ගන්නා අතරතුර දීම, ආහාර ගෙන අවසන් කිරීමට පෙර, ඔබේ කුස පිරී ඇති බවක් හැඟේවි. එමගින්, ඔබ ගන්නා ආහාරයේ ප්‍රමාණය සීමා කිරීමට එළවලු වලට හැකියාව ලැබෙනවා. මෙම දියවන තන්තු වලට ඔබගේ ආහාරයෙන් ශරීරයට උරාගන්නා සීනි ප්‍රමාණය මෙන්ම, ශරීරයට හානිකර LDL කොලෙස්ටරෝල් ප්‍රමාණයද, අඩු කිරීමට පුලුවන්. එළවලු වල ඇති දිය නොවන තන්තු හෝ කෙඳි (Insoluble fibres) ඔබේ මළපහ වල පරිමාව වැඩි කරන බැවින්, මලබද්ධය හෙවත් බඩ වේලීම ඇති වීම වලකිනවා. එමගින්, අර්ශස් අමාරුව ඇතිවීමේ අවදානම ද පහත වැටෙනවා. මෙසේ එළවලු වලින් ආහාරයට එකතුවෙන තන්තු මගින් හෘදයාබාධ, අංශභාගය, දියවැඩියාව, මළ බද්ධය, ආහාර මාර්ගයේ පිළිකා, මහා බඩවැල් වල ඇතිවන ප්‍රදාහයක් (ඇවිලිල්ලක්) වන අපවර්තනිදාහය (Diverticulitis), සහ තරබාරු වීම ආදිය වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

එළවලු වල බහුලව මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක (Antioxidants) නැමැති රසායන ද්‍රව්‍යයන් ද අඩංගු වේ. මෙම ප්‍රතිඔක්සිකාරක මගින් ඇතැම් පිළිකා සහ හදවත් රෝග ඇතිවීමේ අවදානම පහත දමයි. ශරීරයේ හටගන්නා, ශරීරයට හානිකර මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අණු උදාසීන කර, එමගින් සෛල වලට හානි සිදුවීම අඩුකිරීමටත් මෙම ප්‍රතිඔක්සිකාරක වලට පුලුවන්. එපමණක් නොව, ප්‍රතිඔක්සිකාරක අණු වලට ඔබේ ප්‍රතිශක්තිය හෙවත් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ද වැඩි කරන්න හැකියාව තිබේ.

එළවලු වල මේදය අවම බැවින්, එළවලු ආහාරයට ගැනීමෙන් ඔබගේ ශරීරයේ බර වැඩිවීමක් හෝ රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීමක් සිදු නොවේ.

එළවලු වල විටමින් A, B සංකීර්ණය, C, E, සහ විටමින් K වැනි ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් වර්ග බහුලව තිබේ.

ඔබගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට අවශ්‍ය ඛණිජ ලවණ (පොටෑසියම්, සින්ක්, කැල්සියම්, මැග්නීසියම්, සහ යකඩ) එළවලු වල යහමින් ඇත. පොටෑසියම් මගින් ඔබගේ රුධිර පීඩනය, වකුගඩු වල ගල් ඇතිවීම, සහ අස්ථි දුර්වල වීම ආදිය අඩුවේ.

එළවලු වල අඩංගු වන කැලරි ප්‍රමාණය ද අඩුය. එමනිසා, එළවලු ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සහ තරබාරු වීමට ඇති අවදානම අඩුවේ.

එළවලු වල ෆ්ලේවනොයිඩ (Flavonoids) නැමැති ස්වභාවික වර්ණක අඩංගු වේ. මෙම ෆ්ලේවනොයිඩ වලට අසාත්මිකතාවය (Allergy), පිළිකා, සහ විෂබීජ වලට එරෙහිව සටන් කිරීමට හැකියාව පවතී. ඒවා ප්‍රතිඔක්සිකාරක ලෙස ද ක්‍රියා කරයි. ෆ්ලේවනොයිඩ වලට හදවත් රෝග ඇතිවීමේ අවදානම ද 32% කින් අඩු කිරීමට පුලුවන්.

 

(ඡායාරූප අනුග්‍රහය: Jeremy Keith)

 

සබැඳි ලිපි:

සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ඉඟි කිහිපයක්
ආහාර වල ශක්ති ඝනත්වය ගැන දැනගැනීම වැදගත් වන්නේ ඇයි?
ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ වලින් ඇති ප්‍රයෝජන

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "එළවලු සමග සුවැති දිවියක්…" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*