ඔබගේ පෙනීම ආරක්ෂා කරගන්නේ කෙසේද?

ඔබගේ පෙනීම ආරක්ෂා කරගන්නේ කෙසේද?

පෙනීම යනු අපගේ ජීවිතයට අත්‍යාවශ්‍යම සංවේදනයකි. පෙනීම නැතිව ජීවත්වීම ඉතාමත් අපහසු දෙයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. අපට පැහැදිලි පෙනීමක් ලබාදීම සඳහා අපගේ ඇස තුළ තරමක් සංකීර්ණ වූ ස්වාභාවික කාච සහ ස්නායු පද්ධතියක් පවතී. ජීවිතයට මෙතරම් වැදගත් වන ඔබගේ පෙනීම ආරක්ෂා කරගන්නේ කෙසේද?

ඔබට දැනටමත් අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෝ රුධිරයේ අධික ලෙස කොලෙස්ටරෝල් පවතී නම්, ඒවාට ඔබගේ ඇසට හානිකිරීමට හැකියාව පවතී. එමනිසා, අධි රුධිර පීඩනය, දියවැඩියාව, සහ කොලෙස්ටරෝල් මට්ටම මනාව පාලනය කිරීම ඔබගේ පෙනීම ආරක්ෂා කරගැනීමට වැදගත් වේ. දියවැඩියාව පාලනය නොකිරීම නිසා, රුධිරයේ ඇති අධික සීනි මගින් ඔබගේ ඇසේ දෘෂ්ටිවිතානයේ (Retina) ඇති කුඩා රුධිර වාහිනී වලට හානි පැමිනේ. එමගින්, ඔබගේ පෙනීමට සැලකිය යුතු හානියක් සිදුවේ. දෘෂ්ටිවිතානය යනු, කැමරාවක ඇති සේයා පටලය සේ, අපගේ ඇසේ රූප හඳුනා ගැනීමට වැදගත් වන ව්‍යුහයයි. මෙලෙස රුධිරයේ ඇති සීනි මගින් දෘෂ්ටිවිතානයට හානි සිදුවීම දියවැඩියාව නිසා බහුලව ඇතිවන සංකූලතාවයක් වන අතර, දියවැඩියාව හඳුනාගෙන වසර 10 ත් 20 ත් අතර කාලයකදී හටගනී. දියවැඩියාව වැළඳුනු තරුණ රෝගීන්ගෙන් 1/3 කට පමණ මෙම තත්ත්වය නිසා පෙනීමෙහි ගැටළු ඇතිවන බව සොයාගෙන ඇත. අවුරුදු 65 ට වඩා අඩු පුද්ගලයන් අතර අන්ධභාවය ඇතිවීමට ප්‍රධානතම හේතුව දියවැඩියාව වේ. ඇසෙහි සුද මතුවීම (Cataract) ද පාලනය නොකරන දියවැඩියාව නිසා බහුලව ඇතිවන සංකූලතාවයකි. පාලනය නොකරන අධි රුධිර පීඩනය ද ඇසේ දෘෂ්ටිවිතානයට හානිකරන බැවින් ඔබගේ පෙනීමට බාධා කරයි.

කොළ පැහැති එළවලු සහ පළතුරු ආහාරයට ගැනීම ඔබගේ පෙනීම ආරක්ෂා කරගැනීමට ඉතාම වැදගත් වේ. ඒවායේ සියාසැන්තීන් (Zeaxanthin) සහ ලූටීන් (Lutein) නම් වූ වර්ණක බහුලව පවතී. මෙම වර්ණක අපගේ ඇසේ දෘෂ්ටිවිතානයේ කහ ලපය (Macula) නැමැති කොටසේ ද අන්තර්ගත සංඝටකයන් වේ. කහ ලපය යනු දෘෂ්ටිවිතානයේ ඇති පෙනීම සඳහා වැදගත්ම කොටසයි. මෙම වර්ණක, හිරු එළියෙන් සහ ශරීරයට ඇතුලුවන විෂ රසායන ද්‍රව්‍ය වලින් ඔබගේ ඇස් ආරක්ෂා කර දේ. ගෝවා, නිවිති, බීට්, කොල ගෝවා, ග්‍රීන් පීස්, වට්ටක්කා, බඩ ඉරිඟු, ගර්කින්, ඩුබායි වට්ටක්කා, ගෝවා මල් (Broccoli), සහ සලාද ගස් වල සියාසැන්තීන් සහ ලූටීන් වර්ණක බහුලව පවතී.

විටමින් C ද, ඔබගේ ඇස් සෞඛ්‍ය සම්පන්න කිරීමට වැදගත් වන පෝෂ්‍ය පදාර්ථයකි.

විටමින් C බහුල එළවලු:

බෙල් පෙපර් නැමැති මිරිස් වර්ගය, ගෝවා, ගෝවා මල්, නෝකෝල්, නිවිති, රාබු කොල, බීට් කොල, මුරුංගා කොල, කතුරු මුරුංගා, මුරුංගා, කංකුන්, ගොටුකොල, මාළු මිරිස්, කරවිල, තක්කාලි, සුදුලූණු

විටමින් C බහුල පළතුරු:

පීච්, ගස්ලබු, ස්ට්‍රෝබෙරි, අඹ, අන්නාසි, පේර, දෙහි, දොඩම්, ලෙමන්, පැෂන් ෆෘට්, නෙල්ලි, කජු පුහුලම්, කාමරංගා, වෙරළු

සින්ක් නැමැති ඛණිජ ලවණය සහ විටමින් E ද, ඔබගේ පෙනීමට ඉතා වැදගත් වේ. විටමින් E ඌණතාවය නිසා ඔබගේ පෙනීම දුර්වල විය හැක. ශරීරයේ සින්ක් බහුලවම ඇති ඉන්ද්‍රියයන් අතරින් ඇස ප්‍රමුඛස්ථානයක් ගනී.

විටමින් E බහුල ආහාර:

බෙල් පෙපර්, ගස්ලබු, නිවිති, බතල, තක්කාලි, අලිගැටපේර, කජු, රටකජු, තෙල් සහිත බීජ වර්ග, ඔලිව් තෙල්, බඩ ඉරිඟු තෙල්, නිවුඩ්ඩ සහිත ධාන්‍ය වලින් සාදන ආහාර, බීට් කොල, වට්ටක්කා, තලපත් මාළු

සින්ක් බහුල ආහාර:

කජු, රටකජු, කුරුට්ට සහිත ධාන්‍ය වර්ග, බෝංචි, කකුළුවන්

ඔමෙගා 3 මේද අම්ල (Omega-3 fatty acids) සහ ඒක අසංතෘප්ත මේදය (Monounsaturated fat) ද, ඔබගේ පෙනීම ආරක්ෂා කරගැනීමට වැදගත් වන පෝෂ්‍ය පදාර්ථ දෙකකි.

ඔමෙගා 3 මේද අම්ල බහුල ආහාර:

මාළු (හුරුල්ලා, සාලයා, බලයා, කුම්බලාවා, බෝල්ලා, සැමන්), ඉස්සන්, පොකිරිස්සන්, දැල්ලන්, සෝයා තෙල්, කැනෝලා තෙල්, තද කොළ පැහැ පළා වර්ග

ඒක අසංතෘප්ත මේදය බහුල ආහාර:

කජු, රටකජු, ඔලිව් තෙල්, කැනෝලා තෙල්, සූරියකාන්ත තෙල්, තල තෙල්, තෙල් සහිත ඇට වර්ග, අලිගැටපේර, කොට්ටං, තල,

ඔබගේ පෙනීම ආරක්ෂා කරගැනීමට නම්, සීනි බහුලව ඇති ආහාර සහ බීම වර්ග භාවිතයෙන් වැලකීම වැදගත් වේ. සීනි අධික බීම, රසකැවිලි, පාන්, සහ සුදු හාල් භාවිතය අවම කිරීමද පෙනීම ආරක්ෂා කර ගැනීමට වැදගත්ය.

 

(ඡායාරූප අනුග්‍රහය: Gordon Wrigley)

 

සබැඳි ලිපි:

දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?
දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධ විශ්වාස කිහිපයක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබගේ පෙනීම ආරක්ෂා කරගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*