මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!

මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි

මත්පැන් හෙවත් ඇල්කොහොල් භාවිතය පිළිකා වලට අත වනන්නේ කොහොමද? නවතම පර්යේෂණයක් මගින් මත්පැන් භාවිතය ඇතැම් පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිකරන බව සොයාගෙන තිබෙනවා. දිනකට ඇල්කොහොල් ග්‍රෑම් 10 ක් (බියර් කෑන් 1 ක්, වයින් මිලිලීටර් 150 ක්, අරක්කු, රම්, විස්කි, හෝ වොඩ්කා මිලිලීටර් 45 ක් පමණ) පානය කිරීමෙන් පවා පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවන බව සොයාගෙන තිබෙනවා. ඇල්කොහොල් භාවිතා කරන ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම අවදානම තවත් ඉහළ යන බවයි පැවසෙන්නේ. මධ්‍යස්ථ ප්‍රමාණ වලින් මත්පැන් භාවිතා කිරීම හෘද රෝග වලින් ආරක්ෂා වීමට හොඳ උපක්‍රමයක් බව අතීතයේ දී මිනිසුන් විශ්වාස කලා. නමුත්, නව පර්යේෂණය මගින් මත්පැන් භාවිතය පිළිකාවට අත වනන බව සොයාගැනීම නිසා, මත්පැන් වල අනෙකුත් සියලු සෞඛ්‍ය ප්‍රතිලාභ යටපත් වන බවයි පෙනෙන්නට තිබෙන්නේ. කෙසේ වෙතත්, ඇල්කොහොල් වැඩිපුර භාවිතා කිරීමෙන් ද හෘදයාබාධ වැළඳීමට ඇති අවදානම ඉහළ යන බව සොයාගෙන ඇති තවත් කාරණයක්.

මෑතකදී, ඇමරිකාවේ, ප්‍රංශයේ, සහ කැනඩාවේ පර්යේෂකයන් පිරිසක් ඇල්කොහොල් සහ පිළිකා අතර සම්බන්ධය ගැන අධ්‍යයනයක් කර තිබෙනවා. එහිදී ඔවුන් සොයාගෙන තිබෙනවා ඇල්කොහොල් පිළිකා කාරකයක් ලෙස ක්‍රියාත්මක වන බව. එපමණක් නොවෙයි, ඇල්කොහොල් වලින් ලැබෙන වාසි වලට වඩා, ඇල්කොහොල් වලින් මියයන ප්‍රමාණය වැඩි බවයි ඔවුන් සොයාගන තිබෙන්නේ. එමනිසා, මත්පැන් සෞඛ්‍යය වැඩිදියුණු කරන දෙයක් ලෙස නිර්දේශ කිරීම තවදුරටත් නොකල යුතු දෙයක් බවයි පර්යේෂකයන් පවසන්නේ.

වසරකට ඇමරිකා එක්සත් ජනපදය තුළ පිළිකා නිසා සිදුවන මරණ 20,000 කට පමණ ඇල්කොහොල් වගකිවයුතු බව එම පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. එනම්, සියලු පිළිකා මරණ වලින් 3.3% ක් පමණ සිදුවී ඇත්තේ මත්පැන් භාවිතය නිසා. මෙම මරණ වලින් තුනෙන් එකක් (1/3) පමණ සිදුවී ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණ වලින් (ඇල්කොහොල් ග්‍රෑම් 15 ක් හෝ එයට වඩා අඩුවෙන්) දිනකට මත්පැන් භාවිතා කිරීමෙන්. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල මත්පැන් වර්ගය මත වෙනස් නොවන බව පර්යේෂකයන් පවසා තිබෙනවා. ස්වල්ප ප්‍රමාණයක සිට මධ්‍යස්ථ ප්‍රමාණයක් දක්වා මත්පැන් භාවිතා කරන්නන්ට පිළිකාවක් ඇතිවීමේ අවදානම අඩු බවයි පැවසෙන්නේ. නමුත්, පිළිකාවක් වැළඳීමට දැනටමත් වෙනත් අවදානමක් ඇති කෙනෙකු මත්පැන් ස්වල්පයක් පානය කිරීමෙන් පවා පිළිකාවක් වැළඳීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස ඉහළ යන බව එම පර්යේෂකයන් පවසනවා.

සාමාන්‍යයෙන්, ඇල්කොහොල් නිසා ඇතිවන පිළිකා වලින් සිදුවන මරණ සංඛ්‍යාව කාන්තාවන්ට වඩා පිරිමින් අතර වැඩි බව පෙනෙන්නට තිබෙනවා. එයට හේතුව පිරිමි අය කාන්තාවන්ට වඩා මත්පැන් භාවිතා කිරීමයි. කෙසේ වෙතත්, ඇල්කොහොල් භාවිතය නිසා පිළිකා ඇතිවීමේ අවදානම පිරිමි අයට වඩා කාන්තාවන්ට වැඩියෙන් තිබෙනවා. මක්නිසාද, කාන්තාවන්ගේ ශරීර ප්‍රමාණය කුඩා වන අතරම, ඇල්කොහොල් පරිවෘත්තීය ප්‍රතික්‍රියා මගින් විනාශ වීම ද පිරිමින්ට වඩා කාන්තාවන්ගේ සිදුවන්නේ සෙමින්. පියයුරු පිළිකාවලින් ඇමරිකා එක්සත් ජනපදය තුළ වසරකට සිදුවන මරණ 6000 ක් පමණ (පියයුරු පිළිකාවලින් සිදුවන සමස්ථ මරණ සංඛ්‍යාවෙන් 15% ක්) මත්පැන් භාවිතය හා සම්බන්ධ බව එම පර්යේෂණයෙන් පෙනී ගිය කරුණක්. ගලනාලයේ, උගුරේ, සහ මුඛයේ ඇතිවන පිළිකා, ඇල්කොහොල් නිසා පිරිමින්ට ඇතිවන පිළිකා වර්ග අතර මුල් තැනක් ගන්නවා. ඒ වගේම, අක්මාවේ, ගුද මාර්ගයේ, සහ මහා අන්ත්‍රයේ ඇතිවන පිළිකා වල අවදානම ද මත්පැන් වලින් වැඩිකරනවා. ඇල්කොහොල් කියන්නේ පිළිකා ඇතිවීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස ඉහළ දමන සාධකයක් බවත්, ඒ වගේම එය පහසුවෙන් වලක්වාගත හැකි බවත් එම පර්යේෂකයන් තවදුරටත් පවසා තිබෙනවා.

 

(ඡායාරූප අනුග්‍රහය: Ryan Hyde)

 

සබැඳි ලිපි:

පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!
ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?
ස්වයං පියයුරු පරික්ෂාව සිදුකරන්නේ කොහොමද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*