හරිත තේ (Green Tea) ගුණයිද?

කොළ තේ (Green Tea) ගුණයිද?

හරිත තේ (Green tea) ශරීර සෞඛ්‍යයට ගුණ යැයි සමාජයේ අදහසක් පවතිනවා. සමාජයේ ප්‍රචලිත වී ඇති තරම්ම හරිත තේ සෞඛ්‍ය සම්පන්න දැයි අපි විද්‍යාත්මකව විමසා බලමු.

හරිත තේ වල කැටෙචින් නමින් හැඳින්වෙන රසායන ද්‍රව්‍ය කාණ්ඩයට අයත් රසායන ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. එහි නම එපිගැලොකැටෙචින් ගැලේට් (Epigallocatechin gallate/EGCG). මෙම රසායන ද්‍රව්‍යය ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අඩංගු නියාමක ටී වසා සෛල (Regulatory T cells) සංඛ්‍යාව වැඩි කිරීමට සමත් වෙනවා. එමගින්, ඔබගේ ප්‍රතිශක්තිය හෙවත් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට හරිත තේ වලට පුලුවන්. එපමණක් නොව, ස්ව-ප්‍රතිශක්ති රෝග (Auto-immune diseases) යටපත් කිරීමේ හැකියාවත් හරිත තේ වලින් ලැබෙනවා.

හරිත තේ වලට, සියලු හේතූන් නිසා ඇතිවන මරණ වල ප්‍රතිශතය අඩු කිරීමට හැකියාව තිබෙන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණක්. මෙයට හෘද රෝග, පියයුරු පිළිකා, සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා වලින් සිදුවන මරණ ද ඇතුළත් වෙනවා. ඔබ දිනකට හරිත තේ කෝප්ප 5 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පානය කරනවා නම්, සියලු හේතූන් නිසා ඇතිවන මරණ ඇතිවීමේ අවදානම 16% කින් පහල යනවා. එවිට, හෘද රෝග වැළඳීමේ අවදානම ද, හරිත තේ පානය නොකරන අයෙකුට ඇති අවදානමට වඩා 26% කින් පහත වැටෙනවා.

හරිත තේ පානය කිරීම මගින් මන්ද මානසිකත්වය (Cognitive impairment) ඇතිවීමේ සම්භාවිතාවය ද පහළ වැටෙනවා.

හරිත තේ වල පොලිෆීනෝල් (Polyphenol) සහ අනෙකුත් මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක රසායන ද්‍රව්‍ය (Antioxidants) අඩංගු වෙනවා. පොලිෆීනෝල් නැමැති රසායන ද්‍රව්‍යයට ඇතැම් පිළිකා (පියයුරු සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා), අධි රුධිර පීඩනය (Hypertension), අංශභාගය (Stroke), හදවත් රෝග (Heart diseases), සහ දියවැඩියාව (Diabetes Mellitus) වැනි රෝග ඇතිවීම වලක්වාලීමට පුලුවන්. මෙම පොලිෆීනෝල් සහ ප්‍රතිඔක්සිකාරක රසායන ද්‍රව්‍ය ඔබගේ රුධිරයේ ඇති රුධිර පට්ටිකා නැමැති සෛල (Platelets) අනවශ්‍ය ලෙස එකට ඇලීම වලක්වන නිසා රුධිරය තුළ ලේ කැටි ඇතිවීම නැවැත්වීමට හැකියාව ඒවාට ඇත. ප්‍රතිඔක්සිකාරක වලට, ඔබගේ ශරීරයේ හටගන්නා ඉතා ප්‍රතික්‍රියාශීලී අණු විශේෂයක් වන මුක්ත ඛණ්ඩක (Free radicals) උදාසීන කිරීමට හැකියාව පවතී. එමගින්, අධික ප්‍රතික්‍රියාශීලීත්වයක් ඇති මුක්ත ඛණ්ඩක වලින් සෛල වලට සිදුවන හානිය වැලැක්වෙනවා. එමනිසා, ප්‍රතිඔක්සිකාරක වලට රුමැටොයිඩ් පර්වදාහය (Rheumatoid arthritis) නැමැති ආත්‍රයිටිස් රෝගය ඇතිවීම වැලැක්වීමට මෙන්ම, ඔබට දැනටමත් රුමැටොයිඩ් පර්වදාහය ඇත්නම් එය පාලනය කිරීමටත් හැකියාව පවතිනවා. හරිත තේ මගින් ශරීරයට හානිකර කොලෙස්ටරෝල් වර්ගයක් වන LDL කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීම නවත්වා දමන අතර, රුධිර වාහිනී වර්ගයක් වන ධමනි වල බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වීම (Atherosclerosis) ද වලක්වනවා. එමගින්, හෘදයාබාධ සහ අංශභාගය ඇතිවීමේ අවදානම අඩු වෙනවා.

හරිත තේ වල L-තියනින් (L-Theanine) නැමැති රසායන ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. එය ඔබගේ මොළයේ පිටත ප්‍රදේශය වන බාහිකයෙහි (Cortex) ඇති ස්නායු උද්දීපනය වීම අඩු කිරීමට සමත්. එමගින්, L-තියනින් වලට මානසික ආතතිය අඩු කිරීමට හැකියාව ලැබෙනවා.

හරිත තේ වලට ඔබේ ශරීරයට හානිකර LDL කොලෙස්ටරෝල් සහ සම්පූර්ණ කොලෙස්ටරෝල් (Total Cholesterol) මට්ටම අඩු කිරීමට හැකිය.

හරිත තේ වල අඩංගු කැටෙචින් නැමැති රසායන ද්‍රව්‍ය කාණ්ඩයට ඔබේ ශරීරයේ ඇති අමතර මේදය අඩු කර, තරබාරු වීම වැලැක්විය හැකියි. එහි අන්තර්ගත පොලිෆීනෝල් සහ කැෆේන් (Caffeine) නැමැති රසායන ද්‍රව්‍යයන් ඔබේ ශරීරයේ තාප නිෂ්පාදන ක්‍රියාවලිය (Thermogenesis) ඉහළ දමන අතර, එමගින් ශරීරයේ ඇති මේදය ඔක්සිකරණය කිරීම සිදුකරයි. හරිත තේ වලට, ඔබගේ හෘද ස්පන්දන වේගය වැඩි නොකර, ඔබේ ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල වේගය ද 4% කින් ඉහළ දැමීමට හැකියාව පවතින අතර, එය අමතර කැලරි/මේදය දහනය කර ශරීරයේ බර අඩු කරගැනීමට ඉවහල් වේ. එමනිසා, ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගැනීමට හරිත තේ පානය කිරීමත් වැදගත් වෙනවා.

හරිත තේ වල අඩංගු කැටෙචින් නැමැති රසායන ද්‍රව්‍ය කාණ්ඩයට Trypanosoma cruzi නැමැති පරපෝෂිතයා මගින් වැළඳෙන චාගාස්ගේ රෝගය (Chagas’ disease) නැමැති හෘදය වස්තුවට හා ස්නායු පද්ධතියට හානිකරන රෝගය පාලනය කිරීමේ හැකියාව පවතී. Trypanosoma cruzi පරපෝෂිතයා දකුණු ඇමරිකාවට ආවේණික ජීවියෙකු වන අතර ශ්‍රී ලංකාවේ නොමැත.

 

(ඡායාරූප අනුග්‍රහය: McKay Savage)

 

සබැඳි ලිපි:

ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ වලින් ඇති ප්‍රයෝජන
ක්ලෝරොජෙනික් අම්ලය (Chlorogenic acid) යනු කුමක්ද?
ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගන්නේ කොහොමද?
හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "හරිත තේ (Green Tea) ගුණයිද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*