අක්‍රීය දුම්පානය සහ ඔබේ දරුවා

අක්‍රීය දුම්පානය සහ ඔබේ දරුවා

අක්‍රීය දුම්පානය (Passive smoking) යනු කුමක්ද සහ එය ඔබේ දරුවාට හානිකර වන්නේ ඇයි දැයි මදක් සොයා බලමු. ඔබ ඔබේ දරුවන් අසල දුම්පානය කරන්නේ නම් හෝ ඔබේ දරුවන් අසල දුම්පානය නොකර වෙනත් තැනක වුවද දුම්පානය කරන්නේ නම්, ඔබේ දරුවා අක්‍රීය දුම්පානයට ගොදුරු වෙනවා විය හැක. ඔබ දරුවන් අසල දුම්පානය කරනවිට, ඔබගේ සිගරට්ටුවෙන්, බීඩියෙන්, හෝ සුරුට්ටුවෙන් පිටවන විෂ දුම් දරුවා නොදැනුවත්වම ආශ්වාස කරයි. ඔබ දරුවා කෙරෙහි ආදරය නිසා දරුවා අසල දුම් නොබී, වෙනත් තැනක දුම්පානය කලත් ඔබේ දරුවා අක්‍රීය දුම්පානයට ගොදුරු වේ. ඔබ දුම්පානය කරන විට, විෂ දුම් ඔබේ පෙනහලු තුළට ඇතුලු වේ. ඔබ දුම් නොබොන අවස්ථාවක දී වුවද, ඔබ පිටකරන හුස්මක් පාසා විෂ දුම් වල අඩංගු වූ විෂ රසායන ද්‍රව්‍ය වාතයට එකතු වේ. එවිට ඔබේ දරුවා තුළටද එම විෂ රසායන ද්‍රව්‍ය ඇතුලු වේ. එපමණක් නොව, යමෙක් දුම්පානය කරන විට විෂ රසායන ද්‍රව්‍ය කුඩා අංශු ලෙස ඇඳුම් වල, සම මතුපිට, හා හිසකෙස් වල තැන්පත් වීම සිදුවේ. ඔබ දුම්පානය අවසන් කර නිවසට පැමිණිය ද, තැන්පත් වූ විෂ රසායන ද්‍රව්‍ය නිවස තුළ ඇති වාතයට නිදහස් වීම සිදුවේ.

ඔබේ දරුවාත් අක්‍රීය දුම්පානයට ගොදුරු වී ඇත්නම්, අනාගතයේදී ඔහුට හෝ ඇයට බරපතළ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවනු ඇත. ඔබගේ පවුලේ එක් දුම්පානය කරන්නෙක් සිටී නම්, දුම්පානය නොකරන පවුළක දරුවෙකුට වඩා ඔබේ දරුවාගේ ශරීරයට ඇතුළු වන ඊයම් ලෝහ ප්‍රමාණය 14% කි. ඔබේ පවුළේ දුම්පානය කරන්නන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටී නම්, එම අගය 24% ක් වේ. සාමාන්‍යයෙන්, දරුවෙකු ඔහු හෝ ඇය නිරාවරණය වන ඊයම් ප්‍රමාණයෙන් 50% ක් පමණ ශරීරයට උරා ගනී.

ඊයම් ලෝහය ඔබේ දරුවාට හානිකර වන්නේ කෙසේද? ඊයම් ඔබේ දරුවාගේ සියලු අවයව පද්ධති වලටම බලපායි. විශේෂයෙන්ම, ඔබේ දරුවාගේ වර්ධනය වන ස්නායු පද්ධතියට, වකුගඩු වලට, සහ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තියට දරුණු ලෙස හානි සිදුකිරීමට ඊයම් වලට හැකියාව පවතී. ඉතා කුඩා ඊයම් ප්‍රමාණයකට නිරාවරණය වීමෙන් වුවද, ඔබේ දරුවාගේ බුද්ධියට සදාකාලිකවම හානි සිදුවේ. ගැහැණු දරුවන්ගේ වැඩිවිය පැමිණීම ප්‍රමාද කිරීමට ද, ඊයම් වලට හැකියාව පවතී.

අක්‍රීය දුම්පානයට ගොදුරු වන දරුවාට පිළිකා රෝග සෑදීමට ඇති අවදානම ද වැඩිය. එපමණක් නොව, එවැනි දරුවන් අනාගතයේදී දුම්පානයට ඇබ්බැහි වීමට ද වැඩි අවදානමක් පවතී. වයස අවුරුද්දකට වඩා අඩු ළදරුවන් අක්‍රීය දුම්පානයට ගොදුරු වුවහොත්, ඔවුන්ට ඇදුම (හතිය), නියුමෝනියාව, සහ වෙනත් ශ්වසන පද්ධතියේ ආබාධ හා ආසාදන ඇතිවීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස ඉහළ යයි.

එමනිසා, අවම වශයෙන් වාහන තුළදී, ප්‍රසිද්ධ ස්ථාන වලදී, හෝ ඔබේ දරුවන් සමග සිටින විටදී හෝ දුම්පානය කිරීමෙන් වලකින්න. ඔබට දුම්පානය කිරීම නවතා දැමිය නොහැකි නම්, දුම්පානය කිරීමෙන් අනතුරුව අවම වශයෙන් ස්නානය කර, ඇඳුම් මාරු කිරීමෙන් අනතුරුව දරුවන් සමග සිටින්න. ඔබ ඔබේ දරුවාට ආදරෙයි නම්, ඔබේ දරුවා වෙනුවෙන් වත් දුම්පානය නතර කරන්න.

 

සබැඳි ලිපි:

දුම්පානය ඔබ නිසරු කරන බව දන්නවාද?
දුම්පානය කලොත් ඔබේ ජීවිතයත් අනතුරේ…

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අක්‍රීය දුම්පානය සහ ඔබේ දරුවා" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*