බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…

බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්...

වැඩි වියදමක් නොකර හෝ වියදමක් නැතිවම හෝ කරන්න පුලුවන් සරල වෙනස්කම් කිහිපයක් ඔබේ ජීවිතය තුළ සිදුකිරීමෙන් දිගුකලක් සෞඛ්‍ය සම්පන්නව ජීවත්වෙන්න ඔබටත් හැකියාව තිබෙනවා. එම වෙනස්කම් එතරම් සංකීර්ණ ඒවා නෙවෙයි.

හොඳින් නිදාගන්න.

සාමාන්‍යයෙන්, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහා දිනකට වැඩිහිටි අයෙක් පැය 6 ත්, 8ත් අතර ප්‍රමාණයක් නිදාගැනීම අවශ්‍යයි. ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම එනම් දිනකට පැය 6 කට වඩා අඩුවෙන් නිදාගැනීම අංශභාගය (Stroke) වැළඳීමට ඇති අවදානම වැඩි කරනවා. දිනකට පැය 8 කට වඩා නිදාගැනීමත්, හෘදයාබාධ (Heart attacks), හෘද අකර්මන්‍යතාවය (Heart failure), සහ අංශභාගය වැළඳීමට ඇති අවදානම වැඩි කිරීමට සමත් වෙනවා. ඔබ දිනපතා ප්‍රමාණවත් අයුරින් නිදාගන්නේ නම්, ඔබගේ මානසික ආතතිය, බිය, නොසන්සුන් බව, සහ විෂාදය (Depression) අවම වීම සිදුවේ. හොඳ නින්දක් ලැබීම මගින්, ඔබේ සිතෙහි ස්වභාවය (Mood), මතකය, මානසික ඒකාග්‍රතාවය, සහ ක්‍රියාකාරීත්වය දියුණු වේ. දිවා කාලයේදී, හානි වූ පටක සහ සෛල ආදිය ඔබගේ ශරීරය මගින් අලුත්වැඩියා කරගන්නේ ද, ඔබ නින්දෙහි සිටින විටය. එමෙන්ම ප්‍රමාණවත් නින්දක් ලැබීම, හෘදයාබාධ, අංශභාගය, ආත්‍රයිටිස් රෝගය, දියවැඩියාව, අකාලයේ වයසට යෑම, සහ අධි රුධිර පීඩනය ආදී රෝග වැළඳීමට ඇති අවදානම පහත හෙලයි. නිතිපතා හොඳ නින්දක් ලැබීමෙන් ඔබේ ශරීරයේ ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිය ද වර්ධනය වන බව සොයාගෙන ඇත.

මහජන සෞඛ්‍යය පිළිබඳ හාවඩ් පාසලේ (Harvard School of Public Health) සහ ඇතැන්ස් විශ්ව විද්‍යාලයේ (University of Athens) පර්යේෂකයන් කණ්ඩායමක් කෙටි නින්දක් ලබාගැනීම පිළිබඳව පර්යේෂණයක් පවත්වා තිබෙනවා. ඉඳහිට කෙටි නින්දක් ලබාගැනීම (Napping) හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම12% කින් පහත හෙලන බවත්, නිතර කෙටි නින්දක් ලබාගැනීම (අවම වශයෙන් සතියකට දින 3 ක් වත්) හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම 37% කින් පහත හෙලන බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා.

සමාජශීලී වන්න.

සැමවිටම, ඔබගේ පවුළේ සාමාජිකයන්, මිතුරන්, සහ ඔබ රැකියාව කරන ආයතනයේ අය සමග සහයෝගයෙන් කාලය ගතකරන්න. කිසිවිටෙකවත් තනිව හෝ කොන් වී සිටින්න එපා. ඔවුන්ට ඔබගේ මානසික ආතතිය අඩුකර සතුට රැගෙන එන්න හැකියාව තිබෙනවා. ඔබට හැකි සෑමවිටම ඔවුන්ට උදවු කරන්න. ඔබගේ සිතෙහි ඇතිවන හැඟීම් සහ සතුට, ඔබගේ ජීවිතයට සමීපතම හා ඔබට ආදරය කරන කෙනෙකු සමග බෙදා හදා ගන්න. ඔබට ඔවුන් සමග ව්‍යායාම කරන්න, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කරන්න, සහ දැනුම බෙදා හදා ගන්නත් පුලුවනි. ඔවුන්ගේ ජීවිත වල ඇති ආදර්ශයට ගතහැකි හොඳ දේවල් දකින්න හුරුවීමත් වැදගත් වෙනවා. ඔබ ආශ්‍රය කරන්නේ සෞඛ්‍ය සම්පන්න යහළුවන් පිරිසක් නම්, ඔබගේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න කරගැනීමට මෙන්ම, දිගුකලක් ජීවත් වීමටත් එය පිටුවහලක් වේවි.

ගස්, පලතුරු, සහ එළවලු වවන්න.

හැකිතරම් ඔබගේ ගෙවත්තේ එළවලු සහ පළතුරු ඇතුළුව පැල සිටුවන්න. ඒ සඳහා පවුළේ අනෙක් සාමාජිකයන් ද එකතු කරගන්න. ගෙවතු වගාව ඔබගේ ශරීරයට ව්‍යායාම සපයනවා මෙන්ම, පවුළේ සාමාජිකයන් සමග කාලය ගතකිරීමටත් අවස්ථාව ලබාදෙනවා. හරිත වර්ණ වටපිටාවකට ඔබගේ මානසික ආතතිය අඩුකිරීමට හැකියාව ඇති අතර, ඔබට පිරිසිදු වාතය ද ලබා දේ. එළවලු සහ පළතුරු වැවීම ඔබට වැඩිපුර ශාකමය ආහාර ලබාගැනීමට අවස්ථාව ඇතිකරන අතර, එමගින් ඔබගේ සෞඛ්‍යයට අහිතකර සත්ත්වමය ආහාර සහ කෘතිමව සකස්කරන ලද ආහාර භාවිතය සීමාකිරීමට හැකියාව ලබාදේ.

ඇවිදින්න.

වාතය දූෂණය වූ නාගරික පරිසරය මගහැර, හරිත වර්ණයෙන් යුතු පරිසරයක ඇවිදින්නට උත්සාහ කරන්න. ඇවිදීම ඔබගේ ශාරීරික යෝග්‍යතාවය,පෙනහලු සහ හෘදයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි. එමෙන්ම එය ඔබගේ ශරීරයේ බර, රුධිර පීඩනය, සීනි මට්ටම, සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට හැකියාව ලබාදේ. ඇවිදීම මගින් ඔබට පවුළේ සාමාජිකයන් සහ මිතුරන් සමග විනෝදයෙන් කාලය ගතකිරීමට ද හැකියාව ලැබේ.

මානසික ආතතිය පාලනය කරන්න.

මානසික ආතතිය පාලනය කිරීමට ඉගෙන ගන්න. අනවශ්‍ය ලෙස සිතින් කරදර වීමෙන් වලකින්න. මානසික ආතතිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න උපාය මාර්ග භාවිතා කරන්න. සැමවිටම, ඔබගේ සෞඛ්‍යයට හානිකර උපාය මාර්ග මගහරින්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Steve Winton)

 

සබැඳි ලිපි:

ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක්
සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?
හොඳ නින්දක් ලබාගන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*