ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගන්නේ කොහොමද?

ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගන්නේ කොහොමද?

ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ව්‍යායාම ප්‍රධාන සාධකයක් වෙනවා. නමුත්, ව්‍යායාම කරන්නේ නැතිවත් බර අඩු කරගන්න පුලුවන් කියලා ඇහුවොත් ඔබ පුදුම වේවි. යම් අසනීපයක් හෝ කාර්ය බහුල නිසා හෝ ඔබට ව්‍යායාම කරන්න අපහසු නම්, ඔබට තවමත් හැකියාව තිබෙනවා ව්‍යායාම කිරීමෙන් තොරව බර අඩු කරගන්න. ආහාර වලින් අපේ ශරීරයට ලැබෙන ශක්තිය මනින්නේ කැලරි වලින්. ඔබ ආහාර වලින් ලබාගන්නා කැලරි ප්‍රමාණය දිනකට 500 බැගින් අඩු කලහොත්, සතියක් තුළදී ඔබේ බර ග්‍රෑම් 450 කින් අඩු වෙනවා. ඔබ දිනකට ගන්නා කැලරි ප්‍රමාණය 1000 කින් අඩු කලහොත්, සතියක් තුළදී ඔබගේ බර ග්‍රෑම් 900 කින් අඩු කරගන්න පුලුවන්.

නමුත්, ඔබ කාන්තාවක් නම්, දිනකට කැලරි 1200 කට වඩා අඩු කිරීමත්, ඔබ පුරුෂයෙක් නම් දිනකට කැලරි 1800 කට වඩා අඩුකිරීමත් නොකල යුතුයි. මක්නිසාද, එය ඔබේ සෞඛ්‍යයට හානිකර විය හැකියි.

ආහාර වලින් ලැබෙන කැලරි ප්‍රමාණය අඩු කරගන්නේ කොහොමද? තෙල් අධික, ලුණු අධික, හෝ සීනි අධික ආහාර ගැනීමෙන් වලකින්න. අප ගන්නා සමස්ථ කැලරි ප්‍රමාණය එළවලු, පළතුරු, තෙල් අඩු ප්‍රෝටීන, කුරුට්ට සහිත ධාන්‍ය, කජු, රටකජු, සහ මේදය අඩු හෝ මේදය රහිත කිරි ආහාර මගින් ලබාගත යුතුයි. ඔබගේ ආහාරයේ ප්‍රෝටීන, තන්තු/කෙඳි, සහ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට (පිෂ්ටය) බහුල විය යුතුවේ. පිටි ගතිය අඩු කොල පැහැති එළවලු වල, පළා වර්ග වල, පළතුරු වල, සහ කුරුට්ට සහිත ධාන්‍ය වල සංකීර්ණ කාබෝහයිඩ්‍රේට සහ තන්තු බහුලව පවතී.

පැණි රස බීම වර්ග පානය කිරීමෙන් වලකින්න. මන්ද, එවැනි බීම වල සරල සීනි බහුලව ඇති බැවින් අධික කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වේ. ඔබගේ ශරීරයට අපහසුවක් නැත්නම්, සීතල ජලය කෝප්ප 8 ක් දිනකට පානය කරන්න. එවිට ඔබගේ ශරීර උෂ්ණත්වය මදක් පහළ යන බැවින්, ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා පරිවෘත්තීය ක්‍රියා වල වේගය වැඩිවේ. ඒ සඳහා ශක්තිය ලබාගැනීමට ඔබගේ ශරීරය අමතරව කැලරි දහනය කරයි.

උදෑසන අවදි වූ පසු හැකි ඉක්මනින් උදෑසන ආහාරය ගන්න. එමගින් ඔබගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවල වේගය වැඩිවන අතරම, පසුව උදෑසන කාලයේදී වැඩිපුර ආහාර ගැනීමද අඩුවේ. හැකිනම්, ප්‍රධාන ආහාර වේල් වෙනුවට, සමබර ආහාර කුඩා ප්‍රමාණ වලින් පැය 2 කට හෝ 3 කට වරක් අනුභව කරන්න. එමගින්, ඔබගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා වල වේගය දවස පුරාම වැඩි අගයක පවත්වා ගත හැකියි. එවිටද, වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කිරීමට හැකියාව ලැබේ.

ආහාර අනුභව කරනවිට, සෙමින් සපමින් වැඩි කාලයක් ගතකරන්න. එවිට, ඔබ ආහාර ගනිමින් සිටින අතරතුරදීම, ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය, ආහාරයෙන් ඔබගේ කුස පිරී ඇති බවට මොළයට කලින්ම සංඥාවක් නිකුත් කරයි. එමගින් ඔබගේ ආහාර වේලෙහි ප්‍රමාණය සීමාකිරීමට ඔබට හැකියාව ලැබේ. රාත්‍රී කාලයේදී, ප්‍රමාද වී ආහාර ගැනීමෙන් වලකින්න. මක්නිසාද, ඔබගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා රාත්‍රියේදී මන්දගාමී වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Alan Cleaver)

 

සබැඳි ලිපි:

ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…
ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්
බර අඩු කරගැනීමට තෙල් අඩු, කැල්සියම් වැඩි ආහාර…
බර අඩු කරගැනීමට වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගන්න.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*