විවාහකයන්ගේ හදවත් නිරෝගියි!

විවාහකයන්ගේ හදවත් නිරෝගියි!

ඔබ දන්නවාද? ඔබ විවාහක අයෙක් නම්, ඔබේ හදවත අවිවාහක අයෙකුගේ හදවතට වඩා සෞඛ්‍ය සම්පන්නයි. ඔබ විවාහක කාන්තාවක් නම්, ඔබේ හදවත වඩාත් සෞඛ්‍ය සම්පන්න වෙනවා. මෙසේ වෙන්නේ ඇයි?

ෆින්ලන්තයේ ටර්කු විශ්ව විද්‍යාල රෝහලේ (The Turku University Hospital in Finland) පර්යේෂකයන් කණ්ඩායමක් වසර 1993 සහ 2002 අතර කාලයේදී පර්යේෂණයක් පවත්වා තිබෙනවා. එහි මූලිකත්වය ගෙන තිබෙන්නේ වෛද්‍ය ඒනෝ ලැමින්ටෝස්ටා (Dr. Aino Lammintausta). ඔවුන් හෘදයාබාධ වැළඳුනු රෝගීන් 15,300 ක ගෙන් තොරතුරු රැස් කරගෙන තිබෙනවා. එම රෝගීන් අතරින් 7,700 ක් පමණ හෘදයාබාධය වැළඳී දින 28 ක් තුළ මිය ගිහින්.

ඔවුන් සොයාගත් තොරතුරු විශ්මය ජනකයි. විවාහක පිරිමි අයට වඩා, අවිවාහක පිරිමි අයට හෘදයාබාධ වැළඳීමට 58-66% ක වැඩි ඉඩක් පවතින බව ඔවුන් සොයාගෙන තිබෙනවා. විවාහක පිරිමින්ට සාපේක්ෂව, හෘදයාබාධ හේතුවෙන් අවිවාහක පිරිමි අය මියයාමට 60% ත්, 168% ත් අතර වැඩි අවදානමක් පවතිනවා.

විවාහක ගැහැණු අයට වඩා, අවිවාහක ගැහැණු අයට හෘදයාබාධ වැළඳීමට 60-65% ක වැඩි ඉඩක් ඇති බව ඔවුන් සොයාගෙන තිබෙනවා. විවාහක ගැහැණු අයට සාපේක්ෂව, හෘදයාබාධ නිසා අවිවාහක ගැහැණු අය මියයාමට 71% ත්, 175% ත් අතර වැඩි අවදානමක් පවතිනවා.

මේ නිසා, විවාහය සියළු වයස් සීමා වල පිරිමි සහ ගැහැණු අයට හෘදයාබාධයක් වැළඳීමට ඇති අවදානම මෙන්ම හෘදයාබාධයකින් මියයාමට ඇති අවදානම ද පහත හෙලන බවට එම පර්යේෂකයින් නිගමනය කර තිබෙනවා.

එසේ වීමට හේතුව කුමක්ද? මෙම ප්‍රතිඵල සඳහා හේතුවන නියම කරුණු මොනවාදැයි පර්යේෂකයන්ට හඳුනාගැනීමට හැකියාව ලැබී නැහැ. විවාහකයන් අතර හොඳ සෞඛ්‍ය පුරුදු පැවතීම, සමාජීය සහ මූල්‍යමය උපකාර ලබාගැනීමට ඇති පහසුව, සහ මානසික ආතතිය අඩුවීම ආදිය එයට හේතුවිය හැකි බවට ඔවුන් අනුමාන කර තිබෙනවා. ඇතැම්විට, යම් විවාහකයෙක් හෘදයාබාධ වලක්වා ගැනීමට ඖෂධ (ඇස්පිරින්, කොලෙස්ටරෝල් සඳහා ගන්නා ඖෂධ, හා අධි රුධිර පීඩනය සඳහා ගන්නා ඖෂධ ආදිය) ලබාගන්නේ නම්, එම ඖෂධ නියමාකාරයෙන් ලබාගැනීමට සහකරුගේ හෝ සහකාරියගේ සහය ලැබීම මගින්, අවිවාහකයෙකුට වඩා විවාහකයෙකුට හෘදයාබාධ ඇතිවීම වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා වෙන්නත් පුලුවන්. අවිවාහකයෙකුට වඩා, විවාහක අයෙකුට ආහාර පාලනය කිරීමටත්, ශාරීරික ක්‍රියාකාරකම් වල නිරතවීමටත් තම සහකරුගේ හෝ සහකාරියගේ සහය ලබාගැනීමට පහසුයි. ඒ වගේම, රෝගී වූ අවස්ථාවකදී, ඉක්මනින් වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත යොමුවීමටත් තනිව සිටින අවිවාහකයෙකුට වඩා විවාහකයෙකුට අවස්ථාව වැඩියි. ෆින්ලන්තයේ වෛද්‍යවරුන් ද, විවාහක රෝගීන්ට වඩා හොඳින් සලකන බවද පර්යේෂකයන්ට පෙනීගිය කරුණක්.

සමාජයේ තනිව සිටින අයගේ හෘද ස්පන්දන වේගය වැඩි බවත්, එමගින් හෘද ස්පන්දන රිද්මයේ වෙනස්වීම් (Arrhythmia) සහ අධි රුධිර පීඩනය ඇතිවීමට වැඩි ඉඩක් ඇති බවත් එම පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.

ඔබ විවාහ වන වයසේ පසුවන අවිවාහකයෙක් නම්, ඔබේ හදවත සෞඛ්‍ය සම්පන්න කරගැනීමට පහත ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වෙනවා.

  • මානසික ආතතිය පාලනය කරගන්න.
  • නිතර සතුටින් සිටින්න.
  • සැමවිටම හොඳ මිතුරන් ආශ්‍රය කරන්න. පවුළේ සාමාජිකයන් සමග කාලය ගතකරන්න.
  • දුම්පානය කරන්නේ නම්, එය නතර කරන්න.
  • මත්පැන් පානය කරන්නේ නම්, එයද නතර කරන්න.
  • ඔබ තනිවම සිටින්නේ නම්, හදිසි අවස්ථාවකදී හෝ රෝගී වූ අවස්ථාවකදී අන් අයගේ සහය ලබාගැනීමට හැකිවන අයුරින් ක්‍රමවේදයක් සකසා ගන්න.
  • සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ලබාගන්න.
  • නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
  • සැමවිටම සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ලබාගන්න.
  • ඔබට දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෝ අධික ලෙස කොලෙස්ටරෝල් ඇත්නම්, ඒවා නිසි පරිදි පාලනය කරන්න.
  • ඔබගේ ශරීරයේ බර වැඩිනම්, එය අඩුකරගෙන පාලනය කරගන්න.
  • ඔබගේ ඖෂධ නිසි ආකාරයට ලබාගන්න.
  • කලින් කලට ඔබගේ වෛද්‍යවරයා හමුවීමට අමතක නොකරන්න.
  • නැතහොත්, හැකිනම් විවාහ වෙන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Clint Budd)

 

සබැඳි ලිපි:

හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?
සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

4 Comments on "විවාහකයන්ගේ හදවත් නිරෝගියි!"

  1. krishmal udayanka | April 24, 2016 at 5:57 pm | Reply

    Singlish walin comments eka dammata tharaha wenna epa! .man kamathi danaganna.. boddy building wage fitness exercise karaddi.. kohomada fat burn karaganne.. ? And bade thiyena fat eka wadipura burn karanna puluwan exercise ekak gana wage ekak gana lipiyak danna..tharuna aya godak kamathi wei ekata..

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | April 24, 2016 at 6:54 pm | Reply

      ක්‍රිෂ්මාල් මහත්මයා, ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව ස්තූතියි. Body building කරද්දි Fat burn වෙන්නෙ කොහොමද කියලා මගේ වෙනත් ලිපියක කොටසකින් පැහැදිලි වේවි.

      Link: ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්

      බඩේ තියෙන Fat විතරක් Burn කරන්න ව්‍යායාම කරන්න බැහැ. ඕනෑම ශාරීරික ක්‍රියාකාරකමකදි Fat burn වෙන්නේ ශරීරයේ වැඩිපුර Fat තියෙන තැන් වල සමාන ප්‍රමාණ වලින්. ඒ නිසා අන්තිමට Fat burn වෙලා අවසන් වෙන්නේ ශරීරයේ වැඩියෙන්ම Fat තියෙන තැන. තවත් විදියකට කියනවා නම්, අන්තිමට Fat burn වෙලා අවසන් වෙන්නේ ශරීරයේ මුලින්ම Fat තැන්පත් වෙලා මහත් වුන ප්‍රදේශයේ.

  2. Nilanga Yatawattegedara | April 7, 2019 at 12:58 pm | Reply

    ⁣බොහොම වටින ලිපියක් .
    ඔබ තුමා ගෙන් මට අවශ්‍ය උපදෙස් රැසක් තියෙන බව මෙම ලිපිය
    මෙන්ම මා හට මානසික ආතතිය අධික මට්ටමට ඇතැයි මා සිතමි.
    මා හට ප්‍රතිකාර අවශ්‍යව ඇත.මා සිටින්නේ ජපානයේ මාගේ බිරිඳ දරැවන් සමගයි.ජපන් වෛද්‍යවරුන් සමග මගේ රෝගය සාකච්චා කිරීමට තරම්
    මාග් භාෂා දැනුම මදි නිසා ඔබ තුමාගේ සහය පතන අතර මා හට e-mail මගින් මේ සමග දැනුවත් කිරීමක් කරන ලෙස මෙයින් ඉල්ලා සිටිමි

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | June 10, 2019 at 5:19 pm | Reply

      ඔබගේ ගැටළුවට පිළියම් කිරීම E-mail හෝ දුරකතනය හරහා කල නොහැකි දෙයකි. ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් (Consultant Psychiatrist) මුණගැසී සාකච්ඡා කල යුතුය.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*