කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?

කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?

කුඩා දරුවන් ඇතැම් ආසාදන වලට ලක්වීමට නැඹුරුතාවයක් දක්වයි. අනෙක් ළමුන් සමග නිතර ගැවසීම නිසා, පෙර පාසලේදී හෝ පාසලේදී ළමුන් අතර ආසාදන පැතිරී යාමට වැඩි ඉඩක් ලැබේ. නමුත්, සමහර සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ ජීවන රටාවේ ඇතිකරන වෙනස්කම් මගින් ඔබේ දරුවා නිතර ආසාදන වලට ගොදුරු වීම වලක්වා ගැනීමට හැකියාව ඇත.

අත් සේදීම

අත් සේදීම මගින් ශ්වසන පද්ධතියේ, ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන බොහොමයක් ආසාදන සහ වෙනත් ආසාදන වලක්වා ගත හැක. දියර සබන් (Liquid soap) සහ මදක් උණුසුම් ජලයෙන් අත් සේදීමට දරුවා හුරුකරන්න. මේ සඳහා සබන් කැට සහ ඇල් ජලය යොදාගැනීම වුවද කල හැක. අත් සේදීමෙන් අනතුරුව පිරිසිදු, වියලි තුවායකින් හෝ කඩදාසි තුවා (Paper towels/Tissues) වලින් අත් පිසදැමීමට ද දරුවා උනන්දු කරන්න.

පහත සඳහන් අවස්ථා වලදී, සැමවිටම අත් සේදීමට දරුවා උනන්දු කරවන්න.

  • වැසිකිලිය හෝ කැසිකිලිය භාවිතා කිරීමෙන් පසු
  • සතුන්, වැලි, පස්, හෝ කුණු ඇල්ලීමෙන් පසු
  • ආහාර ගැනීමට පෙර
  • ආහාර සකස් කරන්නේ නම්, ආහාර ඇල්ලීමට පෙර

පරිසරය පිරිසිදුව තබාගන්න.

ඔබේ දරුවා වෙසෙන පරිසරය සැමවිටම පිරිසිදුව තබන්න. නිවසේ දූවිලි, කුණු, සතුන්, සහ තෙතමනය රහිත වටපිටාවක් ඇතිකිරීමට සැමවිටම උත්සාහ කරන්න. නිවසේ කුණු නිතිපතා නිසි අයුරින් බැහැර කරන්න. නිවසේ කුණු දමන භාජන කුඩා දරුවන්ට පහසුවෙන් ලඟාවිය නොහැකිවන සේ තබන්න. වැසිකිලි සහ කැසිකිලි නිතර පිරිසිදුව තබාගන්න. කොට්ට උර, බෙඩ් ෂීට්, සහ පොරවන ආදිය නිතර සෝදා පිරිසිදුව තබාගන්න.

ප්‍රතිශක්තිකරණය

ඔබේ දරුවා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ කරන ලද නවතම එන්නත් කිරීමේ වැඩසටහනට අනුව, නිසි පරිදි එන්නත් කරවාගන්න. නිසි අයුරින් එන්නත් කිරීම මගින් ඇතැම් දරුණු ආසාදන වලින් ඔබේ දරුවා ගලවාගැනීමට හැකියාව ලැබේ. ඇතැම් විට, ඔබේ දරුවාගේ ඇතැම් එන්නත් විවිධ හේතු මත මගහැරී තිබෙන්නට පුලුවන්. එවැනි අවස්ථා වලදී, ඔබගේ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතා (MOH/Medical Officer of Health) හමුවී මගහැරුනු එන්නත් ලබාදීමට කටයුතු කල යුතුය.

පවුලේ සාමාජිකයෙකුට ආසාදනයක් වැළඳුන විට,

ඔබගේ පවුලේ සාමාජිකයෙකුට ආසාදනයක් වැළදුන විට, ඔහුට හෝ ඇයට ඉක්මනින් නිසි ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන්න. ඇතැම් විට, රෝගී වූ පවුලේ සාමාජිකයා අනෙක් අයගෙන් වෙන්කර තැබීමටත් සිදුවන අවස්ථා උදාවිය හැක. රෝගී වූ සාමාජිකයාට සාත්තු කරන්නන් පවුලේ අනෙක් සාමාජිකයන්ට රෝගය පැතිරීම වැලකෙන සේ සෞඛ්‍ය සම්පන්නව කටයුතු කිරීම වැදගත් වේ. සාත්තු කරන්නන් නිතර හොඳින් දෑත් සේදීම, ස්නානය කර පිරිසිදුව සිටීම ආදිය මගින් පවුලේ සාමාජිකයන් අතර ආසාදන පැතිර යෑම අවම කරගත හැක.

පණු බෙහෙත්

පවුලේ සාමාජිකයන් සියලු දෙනා එකවර පණු බෙහෙත් ලබා ගැනීමෙන් නැවත පණු රෝග ඇතිවීම වලකාගත හැක. ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පණු රෝග සඳහා ප්‍රතිකාර නැවත ලබාගන්නා කාලය සැලසුම් කරගන්න.

කිවිසුම් යෑම සහ කැස්ස

කිවිසුම් යෑම සහ කැස්ස මගින් ආසාදිත බිඳිති වාතයට එකතු වේ. එමගින් ආසාදන පැතිරයාම සිදුවේ. කිවිසුම් යන විටදී හෝ කැස්ස ඇතිවන විටදී, පිරිසිදු ලේන්සුවකින් හෝ කඩදාසි තුවායකින් (Paper towel/Tissue) නාසය සහ මුඛය ආවරණය කරගැනීමට ඔබේ දරුවා හා අනෙකුත් වැඩිහිටියන් උනන්දු කරන්න. තැන තැන කෙලගැසීම නුසුදුසු දෙයක් බව වටහා දී, එයින් වලක්වන්න. කැස්සකට හෝ කිවිසුමකට පසු හොඳින් දෑත් සේදීමට පවුලේ සාමාජිකයන්ට උපදෙස් දෙන්න. තමන් භාවිතා කරන ලද ලේන්සු හෝ කඩදාසි තුවා (Paper towels/Tissues) ඇල්ලීමෙන් පසුවත් අත් සේදීමට උනන්දු කරවීම වැදගත් වේ.

නින්ද

නින්දෙහි සිටින කාලය තුළදී, ශරීරයේ හානි වූ පටක අලුත්වැඩියා කරගන්නා බැවින් සහ ප්‍රතිශක්තිය වර්ධනය වන බැවින්, ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමට ඔබේ දරුවා හුරුකරන්න.

ශාරීරික ක්‍රියාකාරකම්

නිතර ව්‍යායාම කිරීම හා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වන බැවින්, නිරතුරුවම ඔබේ දරුවා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීමට යොමු කරන්න. එමගින් දරුවාට ඇතිවන ආසාදන අවම කිරීමට හැකියාව ලැබේ.

සෞඛ්‍ය සම්පන්න ආහාර

ආහාර සකස් කිරීමට පෙර අත් හොඳින් සෝදන්න. ඔබේ දරුවාට නිරතුරුවම පෝෂ්‍ය පදාර්ථ අනූන සමබර ආහාර වේලක් සකසා දෙන්න. ආහාරවල ඇති ඇතැම් පෝෂ්‍ය පදාර්ථ අසාදන වැලැක්වීමට සමත්ය. එමනිසා සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර පිසීමට කටයුතු කිරීම වැදගත් වේ. ඔබේ වෛද්‍යවරයා හෝ පෝෂණවේදියෙකු මුණගැසීමෙන් ආහාර සම්බන්ධව වැඩිපුර තොරතුරු ලබාගැනීමට හැකිය.

ස්නානය

පවුලේ සාමාජිකයන් දිනපතා නෑමට උනන්දු කරවන්න. ස්නානය කිරීමෙන් සම මතුපිට ඇති හානිකර විෂබීජ ඉවත්ව යයි.

ඇඳුම්

ඇඳුම් සහ තුවා නිරතුරුව සෝදා පිරිසිදුව සහ වියලිව තබාගන්න.

ජලය

ජලය ආසාදන පැතිර යෑමට හොඳ මාධ්‍යක් ලෙස කටයුතු කරයි. එමනිසා, උණුකර නිවාගත් හෝ නිවරැදිව පෙරාගත් පිරිසිදු ජලය පානය කිරීමට ඔබේ දරුවාව නිරතුරුව උනන්දු කරවන්න. ආහාර සකස් කරන විටදීත් සැමවිටම පිරිසිදු ජලය භාවිතා කරන්න. ඔබගේ නිවසේ ඇති ලිඳ සහ වතුර ටැංකිය ද නිතර පිරිසිදුව තබාගැනීම වැදගත් වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: LadyDragonflyCC)

 

සබැඳි ලිපි:

ශ්වසන පද්ධතියේ ආසාදන වැලැක්වීමට උගුර සෝදමු!
ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කෙසේද?
ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*