දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?

දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?

දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ මන්ද යන්න ඔබ සිතුවාද? දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?

ව්‍යායාම කිරීම සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යාවශ්‍ය සාධකයක් වේ. පහත කරුණු කියවා බලන ඔබට එය වැටහෙන බව නොඅනුමානයි.

  • ඔබගේ ශරීරයේ අමතර මේදය තැන්පත් වීමෙන් බර වැඩිවී ඇත්නම්, දිනපතා ව්‍යායාම කිරීම මගින් අමතර මේදය දහනය වී ඔබේ ශරීරයේ බර පාලනය කරගත හැක.
  • දිනපතා ව්‍යායාම කිරීමෙන් ශරීරයට හානිකර නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවී, ශරීරයට හිතකර HDL නැමැති කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවේ. එමගින් හෘදයාබාධය, අංශභාගය, අධි රුධිර පීඩනය, සහ පර්යන්ත වාහිනික රෝගය (Peripheral Vascular Disease) වැළඳීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුවේ. (පර්යන්ත වාහිනික රෝගය යනු අත් හෝ පාද වල රුධිර නාල අවහිර වීමෙන් ඒවායේ දැඩි වේදනාවක් ඇතිකරන සහ අධික ලෙස උත්සන්න වුවහොත් අත් සහ පාද නරක්වීමෙන් ඒවා ශල්‍යකර්ම මගින් ඉවත්කිරීමට පවා සිදුවන රෝගී තත්ත්වයකි.)
  • ඔබට දැනටමත් අධි රුධිර පීඩනය ඇත්නම්, දිනපතා ව්‍යායාම කිරීමෙන් ඔබගේ රුධිර පීඩනය පාලනය කිරීමට හැකියාව ලැබේ.
  • ඔබගේ ශරීරයේ ඇති සෛල ශක්තිය ලබාගැනීමට සහ පරිවෘත්තීය ක්‍රියා පවත්වා ගැනීමට භාවිතා කරන්නේ ග්ලූකෝස් නැමැති සීනි වර්ගයයි. ඔබ ව්‍යායාම කරන විට, ශරීරයේ සෛල (විශේෂයෙන් මාංශ පේශි වල සෛල) ශක්තිය ලබාගැනීම සඳහා වැඩිපුර ග්ලූකෝස් භාවිතා කරයි. එමගින් ඔබට දියවැඩියාව වැළඳීමට ඇති අවදානම අඩුවේ. ඒවගේම, ඔබට දැනටමත් දියවැඩියාව රෝගය වැළඳී ඇත්නම්, ඔබගේ ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීමට දිනපතා ව්‍යායාම කිරීම උදවු වේ.
  • දිනපතා ව්‍යායාම කරන විට ඔබගේ හෘදය වැඩි රුධිර පරිමාවක් කාර්යක්ෂමව පොම්ප කිරීමට හැකිවන අයුරින් ශක්තිමත් වේ. ඔබගේ පෙනහලු ද ව්‍යායාම කරන විට හොඳින් පිම්බීම හා හැකිලීම සිදුකරයි. එමගින් ඔබගේ පෙනහලුවලට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ශරීරයට ලබාගැනීමටත්, වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ශරීරයෙන් පිටකිරීමටත් හැකිවන අයුරින් ඒවා ශක්තිමත් වේ. ඒනිසා, දිනපතා ව්‍යායාම කිරීම ඔබගේ හෘදය සහ පෙනහලු ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න කිරීමට හේතුවේ.
  • දිනපතා ව්‍යායාම කිරීමෙන් බඩවැලේ පිළිකා, පියයුරු පිළිකා, ගර්භාෂයේ පිළිකා, සහ පෙනහලු පිළිකා වැනි රෝග වැළඳීමේ අවදානමද අඩුවේ.
  • ඔබගේ මාංශ පේශි, අස්ථි, සහ හන්දි ආශ්‍රිත පටක ශක්තිමත් කිරීමට ව්‍යායාම වලට හැකියාව ඇත. එමනිසා, දිනපතා ව්‍යායාම කිරීමෙන් හන්දි ආශ්‍රිත පටක වලට සිදුවන අනතුරු, මාංශ පේශි වලට සිදුවන අනතුරු, අස්ථි බිඳීම් ඇතිවීමට ඇති අවදානම ආදිය සැලකියයුතු ලෙස පහළ යෑම සිදුවේ. එමගින් ආත්‍රයිටිස් (හන්දි වල ඇතිවන ඇවිලිල්ලක් නිසා ඒවා ඉදිමීම හා වේදනාව ඇතිවීම), ඔස්ටියොපොරෝසිස් (අස්ථි දුර්වල වීම) වැනි හන්දි ආශ්‍රිත රෝග වැළඳීමට ඇති අවදානම ද පහත වැටේ. ඔබට දැනටමත් ආත්‍රයිටිස්, ඔස්ටියොපොරෝසිස් වැනි රෝග ඇත්නම්, ඒවා සුවවීමට දිනපතා ව්‍යායාම කිරීම හේතුවේ. ව්‍යායාම මගින් උදරය ආශ්‍රිත මාංශ පේශි ද ශක්තිමත් වේ. එමගින් හර්නියා වැනි රෝග හටගැනීම ද වැළකේ.
  • ඔබ දිනපතා ව්‍යායාම කරන්නේ නම් මානසික ආතතිය (Stress), විෂාදය (Depression) වැනි මානසික තත්ත්ව හටගැනීමට ඇති අවදානම අඩුවන අතර ඔබගේ මානසික සෞඛ්‍යය සහ සිතේ ස්වභාවය (Mood) වැඩි දියුණු වේ. ඔබට සුව පහසු නින්දක් ලැබීමටද ශාරීරික ක්‍රියාකාරකම් වැදගත් වේ.
  • ඔබට විනෝදයෙන් කාලය ගතකිරීමට සහ මිතුරන් ඇසුරු කිරීමට ද දිනපතා ව්‍යායාම කිරීම මගින් අවකාශ සැලසේ.
  • ඔබගේ දෛනික ක්‍රියාකාරකම් කාර්යක්ෂමව කිරීමට හැකියාව ලබා දේ.
  • දිගුකාලීන, සෞඛ්‍ය සම්පන්න දිවියක් උරුම කරදීමට ව්‍යායාම වලට හැකියාව ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: cumidanciki)

 

සබැඳි ලිපි:

සෞඛ්‍ය සම්පන්නව ව්‍යායාම කරන්නේ කොහොමද?
ඔබගේ වයස සඳහා වන උපරිම හා ඉලක්කගත හෘද ස්පන්දන වේගය කුමක්ද?
ශාරීරික යෝග්‍යතාවය සඳහා ඉඟි කිහිපයක්
කන්තුශ්වසන යෝග්‍යතාවය සහ බර අඩුකරගැනීම

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*