ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…

ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්

ඔබ සෞඛ්‍ය සම්පන්න ලෙස ශරීරයේ බර අඩු කරගැනීමට අදහස් කරන්නේ නම් මෙම ලිපියෙහි අන්තර්ගත ඉඟි ඒ සඳහා ඔබට උපකාරී වනු ඇත. සාමාන්‍යයෙන් සතියක් තුළදී අඩු කිරීමට නිර්දේශ කරන බර ප්‍රමාණය ග්‍රෑම් 450 සිට ග්‍රෑම් 900 දක්වා වේ. යම් පුද්ගලයෙකු මෙම බර ප්‍රමාණයට වඩා වැඩි සීඝ්‍රතාවයකින් බර අඩු කරගන්නේ නම් ඔහුට හෝ ඇයට එය දිගු කාලීනව පවත්වා ගැනීම අපහසු බව නවීන පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණකි. ආහාරයේ අඩංගු කැලරි ප්‍රමාණය අතිශයින් සීමා කර ශරීරයේ බර අඩුකර ගැනීමට උත්සාහ ගැනීමද පෝෂණ ඌණතා සහ හාමත වැනි රෝග ලක්ෂණ ඇති කිරීමට හේතු වේ.

දිනපතා කෙඳි සහිත ආහාර සහ ප්‍රෝටීන් වැඩියෙන් ආහාරයට එකතු කරගන්නේ නම් ආහාර ගැනීමේදී ඔබ ඉක්මනින් තෘප්තිමත් වේ. එවිට ඔබ දිනපතා ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය සීමා වන අතර නිතර කුසගින්න ඇතිවීම ද අවම වේ. ඔබ ශරීරයේ බර අඩුකර ගැනීමට අදහස් කරන්නෙකු වුවත් කාබෝහයිඩ්‍රේට, මේදය, ප්‍රෝටීන, විටමින්, ඛණිජ ලවණ, සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලින් සමබර ආහාර වේලක් ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

ඔබ ආහාරයට ගන්නා සමස්ථ කැලරි ප්‍රමාණයෙන් අඩක් සංකීර්ණ කාබෝහයිඩ්‍රේට මගින් ද, 1/4 ක් හිතකර මේද මගින් ද, ඉතිරි 1/4 ක ප්‍රමාණය ප්‍රෝටීන මගින් ද ලබා ගත යුතු වේ. ඔබ ඔබගේ ශරීරයේ බර අඩු කරගැනීමට අදහස් කරන්නේ නම්, ආහාරයට ගන්නා ලුණු, කොලෙස්ටරෝල්, අනෙකුත් අහිතකර මේද, සහ සරල කාබෝහයිඩ්‍රේට් (සීනි) ප්‍රමාණයන් සීමා කිරීම කල යුතුම වේ.

දිනපතා ඔබගේ ආහාරයේ අඩංගු කැලරි 500 බැගින් අඩු කලහොත්, සතියකට ඔබගේ බර ග්‍රෑම් 450 ක් බැගින් මාසයකට කිලෝග්‍රෑම් 1.8 ක් අඩු වනු ඇත.

ශරීරයේ බර අඩුකර ගැනීමට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම මෙන්ම දිනපතා ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් කිරීම ද නිර්දේශ කර ඇත. සතියකට දින පහක් හෝ හයක් බැගින් දිනකට විනාඩි 30-45 ක් ඉක්මනින් ඇවිදීම, දිවීම, සෙමින් දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම, හෝ අනෙකුත් ස්වායු (aerobic) ශාරීරික ක්‍රියාකාරකම් කිරීම සෞඛ්‍ය සම්පන්න බර අඩු කරගැනීමකට ඉවහල් වේ.

ඔබ බර අඩු කරගැනීම සඳහා අලුත් ආහාර සැලසුමක් හෝ ව්‍යායාම සැලසුමක් ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් එයට පෙර වෛද්‍යවරයෙකුගේ සහ/හෝ පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබාගැනීම උචිත වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Charlotte Astrid)

 

සබැඳි ලිපි:

ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්
ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගන්නේ කොහොමද?
බර අඩු කරගැනීමට තෙල් අඩු, කැල්සියම් වැඩි ආහාර…
බර අඩු කරගැනීමට වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගන්න.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*